තරුෂි පිටිගල විසිනි.

ඉතා කුඩා වැසි කිහිපයකට පසු, මඩ පිරුණු ගුරු පැහැ කන්ඩලම පාර වසාගෙන කහ පැහැයෙන් යුත් එකම වර්ගයේ සමනලුන් රොත්තක්!

අපට අඩිය තබන්නටවත් ඉඩක් තිබූයේ නැත.

කලාතුරකින් පාරේ යන බයිසිකලයක් හෝ මිනිසෙකු දැක කලබල වී එක පොදියට ඉගිල ගියත් නැවතත් එම ස්ථානයේම වසා මඩ උරා බොන සමනල්ලු කියන්නේ නිතැතින්ම සිත් ඇඳගන්නා සුළුත්, කුතුහලය දනවන්නාවූත් දසුනක්…

වැස්සකට පසු හිරු එළිය හොඳින් ඇති දිනවල පාර අයිනේ, මඩ ආශ්‍රිතව හෝ දිය සීරාමය ස්ථානයක බිම, බහුලව ගැවසෙන සමනලුන් ඔබත් දැක ඇතුවාට සැකයක් නැත.

සැබවින්ම, ඔවුන් ඇයි එහෙම? කුමක්ද කරන්නේ කියා මට මෙන්ම ඔබටත් සිතී ඇතුවාටද සැකයක් නැත.

සමනලුන්ගේ මෙම චර්යයා රටාව හඳුන්වන්නේ ‘mud puddling’ ලෙසය. එය බොහෝ සමනලුන් තුල දැකිය හැකි චර්යා රටාවකි. සමනලුන් ප්‍රධාන ලෙස තම ආහාර අවශ්‍යතාව සපුරා ගන්නේ මල් පැණි මගිනි. නමුත් මල් පැණි වලින් ලබා ගන්නා පෝෂ්‍ය පදාර්ථයන්හි කාබෝහයිඩ්‍රේට බහුලව අඩංගු වුවද, ලවණ වර්ග අඩංගු වන්නේ ඉතා සුලු ප්‍රමාණ වලිනි. එබැවින්, සමනලුන් තම පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා අවශ්‍ය, ප්‍රමාණවත් ලවණ ලබා ගැනීම සඳහා, ලවණ, ඇමයිනෝ අම්ල සහ වෙනත් පෝෂණ සංඝඨක අධිකව අඩංගු මඩ, පළතුරු කොටස්, මළ අපද්‍රව්‍ය, මළකුණු සහ රුධිරය වැනි දෑ මත වසමින් ඒවා උරා බොයි. නමුදු එම උරාබීමේදීම, එම ලවණවල මිශ්‍රව ඇති ද්‍රවයන්හි අමතර ජලය බැහැර කිරීමේ සුවිශේෂී හැකියාවක්ද ඔවුන් සතුය.

පර්යේෂණ වාර්තාවනට අනුව මෙම ක්‍රියාවලිය බහුලව සිදු කරනු ලබන්නේ පිරිමි සමනලුන්ය. මන්ද යත් පිරිමි සමනලුන් හට තම විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කර ගැනීම සඳහා දක්වන චර්යා රටාවන් හේතුවෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. තවද, පිරිමි සතුන් ලිංගිකව එක් වීමේදී ශුක්‍රාණු සමග යම් ලවණ ප්‍රමාණයක් පිටවීමද ඊට හේතුවේ.

සාමාන්‍යයෙන් එක් පිරිමි සමනලයකු, ගැහැණු සමනලුන් කිහිප දෙනෙකු සමග ලිංගිකව එක්ව නව පරම්පරාවන් බිහි කිරීමට කටයුතු කරයි. එමෙන්ම එම ලිංගික එක් වීමෙදි පිරිමි සමනලුන් විසින් පිටකරනු ලබන ලවණ ගැහැනු සමනලුන්ගේ ශරීරගත වීම නිසාවෙන් ඔවුනට අමතර ලවණ ප්‍රමාණයක්ද ලැබේ.

කෙසේ හෝ ඔවුහු රංචු පිටින් එක් ස්ථානයකට රැස්ව මෙම ක්‍රියාව සිදු කරනුයේ වැඩි ආරක්ෂාවක් තකා වීමද සුවිශේෂී කරුණකි.

මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුල බහුලවම දක්නට ලැබෙනුයේ ලා කහ පැහැයක් ගන්නා කුඩා සමනල් විශේෂයක් වන ඇල්බට්රෝස්  විශේෂයෙහි වන අතර, කොමන් ක්‍රෝ, කොමන් මෝර්මන්, කොමන් ගල් වැනි සමනලුන්ද බොහෝදුරට මෙම ක්‍රියාවලියෙහි යෙදෙනු සුලභව දැකගත හැකිය. තවද සමනලුනට අමතරව, බත් කූරන්, මැස්සන් වැනි කෘමි විශේෂද මෙම ක්‍රියාවලියෙහි යෙදෙනු දකගත හැකි වේ.