තරුෂි පිටිගල විසිනි.

කොහෝ කොහෝ …. හඩින්, කොහා නාද කරන්නේ අවුරුදු එන බව කියන්නමද?


සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සහ කොහාගේ නාදය අතර ඇත්තේ අතීතයේ සිටම පැවත එන සංස්කෘතිමය බැඳීමක්. අවුරුදු සමය වෙනුවෙන් නිර්මාණයවන බොහෝ ගීත හා වෙළඳ දැන්විම් සඳහාද කොවුල් නාදය සම්බන්ධ කරගැනීමට තරම් කොවුලා සුවිශේෂීත්වයක් උසුලනවා. බක් මාසය ආරම්භ වෙනවාත් සමඟ තීව්‍ර ලෙස ඇසෙන මෙම කොවුල් නාදයෙන් ඇඟවෙන්නේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලඟ ලඟම එන බවට ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරයි.

මෙලෙස කොවුල් නාදය හා අවුරුදු උදාව අතර සම්බන්ධයක් පවතින බව පැරැන්නන් විශ්වාස කිරීමට හේතුව වන්නේ, අතීතයේ බක් මස ආරම්භ වීමත් සමඟම කොවුලාගේ නාදයත් සුලභ වීමට පටන් ගැනීම නිසාවෙනි. නමුත් එහි සැබෑම සිද්ධිය නම්, කොවුලාගේ අභිජනන සමය මාර්තු සිට මැයි දක්වා කාලය අතර වීමයි.

විද්‍යාත්මකව Eudynamus scolpacea ලෙස හඳුන්වන ආසියානු කොවුලා කෝකිල කුලයට අයත් පක්ෂියෙකි. ‘කොහෝ කොහෝ’ නාදය නිකුත් කරනු ලබන්නේ පිරිමි කොවුලා විසිනි. ඌ විසින් මෙම නාදය නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අභිජනන සමයේදී ප්‍රජනන කාර්යය සඳහා සහකාරියක් ආකර්ශනය කර ගැනීමත්, තම වාසස්ථාන සිමාව වෙන් කරගැනීමත් බව තරුණ සත්වවේදින්ගේ සංගමයේ පක්ශි අධ්‍යන ඒකකයේ උපදේශකවරයකුවන හසිත කටුගහ මහතා අදහස් දක්වමින් පැවසීය.

කොවුලාගේ පිරිමි සත්ත්වයා බාහිර ස්වරූපයෙන් කපුටාට සමාන වුවත්, ශරීර ප්‍රමාණයෙන් කුඩා වීම, සාපේක්ෂව පෙඳය දිගින් වැඩිවීම, රතු ඇස් සහ ශරීරයෙහි දිලිසෙන කළු පැහැය, කපුටාගෙන් වෙන්කොට හඳුනා ගැනීමට උපකාරී වේ. ගැහැණු සතුන්ගේ දුඹුරු පැහැති ශරීරය පුරා සුදු, ලා පැහැ ඉරි සහ පුල්ලි ඇත. ගැහැණු සතුන්ගේද ඇස් රතුය. කෙසේහෝ කොවුලන්, ලිංගික ද්විරූපිතාවය ඉතා හොඳින් පෙන්වන බැවින් ගැහැණු සත්ත්වයා යනු වෙනමම කොවුල් විශේෂයක් ලෙසි වරදවා වටහා ගෙන, සමහරු විසින් මල් කොහා සහ තිත් කොහා යන නම් ගැහැණු සත්ත්වයා හැඳින්වීමට භාවිතා කරයි.

කොවුලාගේ ගැහැණු සත්ත්වයා. ඡායාරූපය: Pixabay.com


මෙම පක්ශියාගේ තවත් විශේෂ ලක්ෂණයක් නම් පරපෝෂිතාවයි. කොවුලන් විසින් කූඩු නොසාදන අතර ගැහැණු සත්ත්වයින් කපුටන් ඉදි කරන කැදැලිවල බිත්තර දමයි. ඉන්පසු බිත්තර රැකීම සහ කුඩා කල පැටවුන් රැක බලා ගැනීම සිදු කරනුයේ කපුටු ගැහැණු සතා විසිනි. පසුව හොඳින් වැඩුනු කොවුල් පැටවුන් කැදැල්ලෙන් ඉගිල යයි.

වර්තමානයේ සමහර වසර වලදී කොවුල් නාදය තරමක් ප්‍රමාද වී, මැයි මස පමණ වනවිට ඇසීමට පටන්ගන්නා තත්වයක් ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ දේශගුණික වෙනස් වීම් හා වර්ෂාපතන රටාවන්ගේ වෙනස් වීම්ය. මීට අමතරව කපුටන්ගේ ප්‍රජනන සමය මතත් එහි වෙනසක් සිදුවේ.

කෙසේ වෙතත් කොහාගේ නාදය බොහෝ විට අවුරුදු සමයේදි පමණක් ඇසෙන්නක් නොවේ. එය ඔවුන්ගේ ප්‍රජනන සමයවන මාර්තු සිට මැයි ජූනි මාසයන් තෙක්ම ඇසෙන හඬකි. ප්‍රජනන සමයේදී හොඳින් සඳ එලිය ඇති දිනවල මධ්‍යම රාත්‍රියවන තෙක්ම කොවුලන් හැඬලීම නිරීක්ෂණය කල හැකි බවත්, සමහර ප්‍රදේශයන්ගේ නිවෙස් ආශ්‍රිතව හිමිදිරි උදැසන තීව්‍ර කොවුල් නාදයන් ඇසීමද සිදුවනුයේ, එම වෙලාවන්හි නිවෙස් තුල දමන විදුලි ආලෝකයට ඌ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් යැයි කටුගහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙලෙස කොවුලන් නාද කරනුයේ අභිජනන සමයේදී පමණක්වන අතර අනෙක් බොහෝ අවස්ථාවලදී අතු අතර සැඟව නිහඬව සිටිමට ප්‍රියතාවයක් දක්වයි. මේ හේතුවෙන් කොහා යනු සංචාරක පක්ෂියෙකු ලෙසත් බොහෝ දෙනා වරදවා වටහා ගෙන සිටී. “කොවුලන් අතිශය ලජ්ජාශීලි පක්ශි විශේෂයක් ලෙස හැදින්වූවත් වර්තමානයේ දී නාගරීකරණයත් සමඟම ඔවුන් වෙනදාට වඩා බහුලව එලිමහන්හි ගැවසෙනු දක්නට ලැබෙනවා” යැයි කටුගහ මහතා අවසාන වශයෙන් අපහට පැවසීය.