අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

සිය අවශ්‍යතාවයන් සඳහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට තම දෙපය භාවිත කළ මිනිසා, යුග ගණන් ගතවද්දී, සිය කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමට සතුන් පිට යාමත්, කරත්ත වැනි ගමනාගමන විධි භාවිතයත් හුරු විය. ඉන්පසු ඇතිවූ කාර්මික විප්ලවයත් සමඟ ගමනාගමන අවශ්‍යතාව  ද යන්ත්‍රානුසාරයෙන් සපුරා ගැනීමට සමත් වෙමින් විවිධ යාන වාහන බිහිවිය. එම යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අතීතයේ පටන් විවිධ බලශක්ති ප්‍රභව භාවිත කළ අතර  වර්තමානය වන විට මූලික ප්‍රභව ලෙස භාවිතා වන්නේ හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් ඉතා විශාල වශයෙන් විමෝචනය කරන ඩීසල් හා පෙට්‍රල් වැනි ඉන්ධනයි. ගමනාගමනය මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වී ඇති වර්තමානයේ වාහන සංඛ්‍යාව ද වැඩි වී ඇති බැවින්, මිහිතලය රැක ගැනීමට නම්, විමෝචනය වන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කළ යුතු ය. ඒ සඳහා ගත හැකි පියවර කිහිපයක් ඇත.

බොහෝ රටවල් ඒ සඳහා ගත් පියවර අතර ප්‍රධානම අංගයක් ලෙස සැලකිය හැක්කේ පා පැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමයි. අප රටේ නොවූවත් විවිධ දියුණු රටවල් වල රාජ්‍ය නායකයන් පවා පා පැදියේ ගමන් කරමින් සිය ජනතාවට ආදර්ශ සපයන දර්ශන සුලබ ය. යුග කිහිපයකට පෙර බිහි වූ මිනිස් ශ්‍රමයෙන් ධාවනය වන පාපැදියෙන් කිසිඳු විමෝචනයක් සිදු නොවන අතර ඒ මඟින් සිරුරට ව්‍යායාමය ද ලැබේ. එබැවින් කෙටි දුර ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමට හොඳම විකල්පය වන්නේ පා පැදියයි. එබැවින් විශේෂ මංතීරු ඉදි කිරීම හා මහජනයා දැනුවත් කිරීම මඟින්  කෙටි දුර ගමනාගමනය සඳහා පා පැදි ප්‍රවර්ධනය කළ හැකිය.

පාපැදි භාවිතය. ඡායාරූපය: Pixabay.com

නමුත් සංවර්ධනය වෙමින් පවතින අප රටට ඔබින පළමු විකල්පය වන්නේ පොදු ප්‍රවාහන සේවය වර්ධනය කිරීමයි. එමඟින් පෞද්ගලික වාහන භාවිතය අවම කරමින් පොදු ප්‍රවාහනය භාවිත කිරීමට ජනයා පෙලඹීමෙන් පරිසරයට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වනු ඇත. බස් රථ හා දුම්‍ රිය සේවාව වඩාත් කාර්යක්ෂම හා පිරිසිඳු ව පවත්වාගෙන යාම, අඩු විමෝචන හා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් බස් රථ හා විදුලි දුම්‍ රියන් භාවිතය, අධික වාහන ප්‍රමාණයක් පැමිණෙන ප්‍රදේශයන්ට පොදු ප්‍රවාහන සේවා වැඩියෙන් සැපයීම, එවන් කලාප තුළ පෞද්ගලික වාහන තහනම් කිරීම වැනි පියවර තුළින් පරිසරයට මුසු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කළ හැක.

තවත් අති සාර්ථක විකල්පයක් වශයෙන් අඩු විමෝචන හා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් වහන භාවිතය සැලකිය හැක. ඒ සඳහා උදාහරණ ලෙස විද්‍යුත් වාහන, හයිබ්‍රිඩ් වාහන, එමෙන්ම සූර්ය බලයෙන්, ජලයෙන් ධාවනය වන වාහන ආදිය ගෙනහැර දැක්විය හැක. එවන් වාහන සඳහා ඇති බදු අඩු කිරීම, විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා ආරෝපණ ස්ථාන ඉදි කිරීම, එවන් වාහන නැවැත්වීම සඳහා පහසු ස්ථාන වෙන් කර තැබීම, වාහන නැවැත්වීම සඳහා මුදලක් අය කරයි නම් එම මුදල සාමාන්‍ය වාහනයක් සඳහා අය කරන මුදලට වඩා අඩු කිරීම වැනි පියවර තුළින් අඩු විමෝචන හා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් වහන භාවිතය ප්‍රවර්ධනය කළ හැක.

එමෙන්ම රැකියා ස්ථාන සඳහා විශේෂ ප්‍රවාහන සේවා සැපයීම, රැකියා ස්ථානයට කිහිප දෙනෙකු එක්වී එක් වාහනයක පැමිණීම, එසේ පිරිසක් සමඟ පැමිණෙන වාහන නැවැත්වීම සඳහා පහසු ස්ථාන වෙන් කිරීම වැනි ක්‍රියා ද තිරසර ගමනාගමන විධි අතරට එක් කළ හැක. එමෙන්ම රැකියා ස්ථානයන්, පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, රජයේ ආයතන වැනි ස්ථාන සඳහා සුවිශේෂී ගමනාගමන සැලසුම් සැකසීම ද සිදු කළ හැකිය.

වර්තමානයේ ඇති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉහත ගමනාගමන විධි භාවිත කිරීමේ දී සෞඛ්‍යය උපදෙස් පිළිපැදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු මය.