දේශගුණික විපර්යාසයන්ගේ අයහපත් ප්‍රතිඑල වළක්වා ගැනීම සඳහා මිනිසා විසින් ඇති කරන මීතේන් විමෝචනය 45%කින් අඩු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ නව වාර්තාව පවසයි.

එවැනි කප්පාදුවකින් 2045 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3කින් පමණ ඉහළයාම වළක්වනු ඇතැයිද වාර්තාවේ දැක්වේ. වාර්ෂිකව, නොමේරූ මරණ 260,000ක්, ඇදුම ආශ්‍රිත රෝහල් ගතවීම් 775,000ක් මෙන්ම බෝග අලාභ ටොන් මිලියන 25ක්ද මෙමඟින් වලකනු ඇත.

මිනිසා විසින් ඇති කරන ලද මීතේන් විමෝචනය, 1980 ගණන්වල, වාර්තා තබා ගැනීම ආරම්භ කළ දින සිට වෙන කවරදාටත් වඩා වේගයෙන් වැඩිවෙමින් පවතී.

නව කොරොන වයිරස් රෝග වසංගතය අතරතුර කාබන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටී ඇතත්, එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ දත්ත වලට අනුව වායුගෝලයේ ඇති මීතේන් පසුගිය වසරේ වාර්තාගත මට්ටම් කරා ළඟා විය.

මීතේන් අතිශය හරිතාගාර වායුවක් බැවින් මෙය පිළිබඳව සැලකිලිමත් වීමක් අවශ්‍ය බව වාර්තා පවසයි. පුර්ව කාර්මික යුගයේ සිට සිදුවන උෂ්ණත්වයේ වැඩි වීමෙන් 30%කට පමණ එය වගකිව යුතුය.

කෙසේ වෙතත්, මීතේන් විමෝචනය අඩු  කිරීමෙන් වායුව ඉක්මනින් කැඩී යාම නිසා නුදුරු කාලීනව, උණුසුම් වීමේ වේගය, වේගයෙන් අඩු කර ගත හැකි බවද වාර්තාව පවසයි.

ලොව පුරා රජයන්, මීතේන් අඩු කිරීමට අපේක්ෂා කළහ. නිදසුනක් වශයෙන්, යුරෝපා කොමිසම 2020 ඔක්තෝම්බර් මස යුරෝපා සංගමයේ මීතේන් උපායමාර්ගය අනුගමනය කරන ලදී. යුරෝපයේ සහ ජාත්‍යන්තරව මීතේන් විමෝචනය අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ගද එහි දක්වා ඇත.

ගත යුතු පියවර

මිනිසා විසින් ඇති කරන මීතේන් විමෝචනයන් බොහෝමයක් පොසිල ඉන්ධන, අපද්‍රව්‍ය සහ කෘෂිකර්මාන්තය යන අංශ තුනෙන් සිදුවන බැව් එක්සත් ජාතීන්ගේ වාර්තාව සඳහන් කරයි. 

පොසිල ඉන්ධන අංශයේ මීතේන් විමෝචනයෙන් 23%ක්ම තෙල් හා ගෑස් නිස්සාරණය, සැකසීම හා බෙදා හැරීම හේතුවෙන් සිදු වේ. ගල් අඟුරු කැණීම් හේතුවෙන් සිදුවන මීතේන් විමෝචනය 12%ක ප්‍රමාණයක් වේ.

අපද්‍රව්‍ය අංශයේ මීතේන් විමෝචනයෙන් 20%ක් පමණ ගොඩකිරීම් සහ අපජලය හේතුවෙන් සිදුවේ. කෘෂිකාර්මික අංශයේ, පශු සම්පත් ආශ්‍රිත පොහොර නිෂ්පාදනයේදී සහ ආන්තරික පැසවීම් වලදී, දළ වශයෙන් 32%ක් පමණ සහ වී වගාවෙදී 8%ක් පමණ මීතේන් විමෝචනය වේ.

රටවල් සහ කලාප අතර අවම කිරීමේ විභවයන් වෙනස්වන බව තක්සේරුකරනයේදී සොයා ගන්නා ලදී. ඒ අනුව ගොවිතැන, පොසිල ඉන්ධන මෙහෙයුම් සහ අපද්‍රව්‍ය කළමනාකරණයන්, මීතේන් විමෝචනය මැඩපැවැත්වීමට යුරෝපයට විශාලතම අවස්ථාවක් ලබාදේ.

අපද්‍රව්‍ය අංශයේ මීතේන් විමෝචනය අවම කිරීමට ඉන්දියාවට විශාලතම හැකියාවක් තිබුණි. චීනයේ, ගල් අඟුරු නිෂ්පාදනයේදී සහ පශු සම්පත් නිෂ්පාදනයේදීද මෙය අවම කිරීමේ විභවය ඉතා හොඳවන අතර අප්‍රිකාවේ පශු සම්පත්, තෙල් හා ගෑස් නිෂ්පාදනයේදීද එය එලෙසින්ම වේ.

පොසිල ඉන්ධන කර්මාන්තහි, අඩු වියදම් මීතේන් කප්පාදුව සඳහා විශාලතම විභවයක් ඇති බව වාර්තාව පවසයි. වාර්තාවට අනුව, තෙල් හා ගෑස් කර්මාන්තය 80%ක පමණ අඩු වියදමකින් ක්‍රියාත්මක කළ හැකිය.

මෙම අංශයේ මීතේන් කප්පාදුවෙන් 60%ක් පමණ මුදල් ඉපයිය හැකි බැවින් කාන්දුවීම් අඩු කිරීමෙන් වැඩි ගෑස් අලෙවියක්ද ලබා ගත හැකිය.

ලොව පුරා අපද්‍රව්‍ය බැහැර කිරීම වැඩිදියුණු කිරීමෙන් අපද්‍රව්‍ය අංශයේ මීතේන් විමෝචනය අඩු කළ හැකිය.

ආහාර අපද්‍රව්‍ය හා පාඩු අවම කිරීම, පශු සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම (නිර්මාංශ හෝ අඩු මස් හා කිරි අන්තර්ගතයක් සහිත) යන චර්යාත්මක වෙනස්කම් තුන මඟින් ඉදිරි දශක කිහිපය තුළ මීතේන් විමෝචනය වසරකට ටොන් මිලියන 65 – 80කින් අඩු කළ හැකි බව වාර්තාව පවසයි.

මෙම ගෝලීය මීතේන් තක්සේරු වාර්තාව ‘මීතේන් විමෝචනය අවම කිරීමේ ප්‍රතිලාභ සහ පිරිවැය’ යන මාතෘකාව යටතේ දේශගුණික හා පිරිසිදු වායු සන්ධානය සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් 2021 මැයි 6වන දින නිකුත් කරන ලදී.

Madhumita Paul විසින් වෙබ් අඩවිය වෙත ලියන ලද Down to Earth Reduce human-caused methane emissions by 45% to avoid worst of climate change: UN නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.