තරුෂි පිටිගල විසිනි.

කෝවිඩ් මගින් ඇතිකර දුන් වාසිදායක තත්ත්වයන් අභිබවමින් දීර්ඝකාලීන සෘණාත්මක තත්ත්වයන් අනාගතයේ දී ඇති විය හැකි බව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසින්ත විජේසේකර මහතා පැවසුවේ ය.

දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල් සහ අනෙකුත් පොදු ස්ථාන ආශ්‍රිත පරිසරය, විසුරුම් ක්‍රම භාවිතා කරමින් විෂබීජ නාශනය කිරීමෙන් ඉතා අහිතකර පාරිසරික ගැටලු කිහිපයක්ම ඇතිවිය හැකි බවත් එලෙස විෂබීජ නාශක ඉසීමෙන් කොරෝනා රෝග කාරක නොවන අනෙක් ක්‍ෂුද්‍ර ජීවීන් පවා විනාශවන බැවින් පාරිසරික සමතුලිතතාවය බිඳ වැටෙන බව ඔහුගේ අදහසයි.

“විෂබීජ නාශක දියර ඉසීමෙන් ඉතා කුඩා විෂබීජ නාශක දියර අංශු වාතයේ සැදෙනවා. එම බිඳිති සමඟ කුඩා ධූෂක අංශු එක්වී වායු ගෝලයේ අංශු ප්‍රමාණය වැඩි වෙනවා මෙන්ම මිනිසා ඇතුළු අනෙක් බොහෝ සත්ත්වයින් හට එය අහිතකර පාරිසරික තත්ත්වක් නිර්මාණයක් කරනවා.” යැයි  ආචාර්‍යය විජේසේකර මහතා පැවසුවේය. මේ පිළිබඳ පර්යේෂණ බොහෝ රටවල්හි සාර්ථකව සිදුකර ඇති බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

ඔහු මෙම අදහස් දැක්වූයේ ගවේෂණ වාර්තා කරන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ කෝවිඩ්-19 මඟින් පරිසරයට ඇති කරනු ලබන බැලපෑම්’ යන මාතෘකාව යටතේ පැවැත්වු හරිත සංවාදය සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අවස්ථාවේදීය. 

මුඛ ආවරණ, මුහුණු ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂක උපකරණ විශාල ප්‍රමාණයක් ගංගා ආශ්‍රිතව පාවෙනු දැක ගත හැකි බවත් පසුකාලීනව මෙම අපද්‍රව්‍ය මයික්‍රො හෝ නැනෝ ප්ලාස්ටික්ව ආහාර දාම ඔස්සේ ජෛව සමුච්ච ගතව නැවතත් මිනිසා වෙත පැමිණිය හැකි බවද ආචාර්ය විජේසේකර මහතා ප්‍රකාශ කළේය. 

පෞද්ගලික ආරක්ෂක උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම බොහෝ රෝග පැතිරී යාමට හේතුවක් විය හැකි බැවින් රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විශේෂ කළමනාකරණ සැලැස්මක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳවද එතුමන් විසින් අදහස් දක්වමින් පැහැදිලි කළේය. 

රටෙහි බොහෝ ස්ථානවල පෞද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු අනෙකුත් ප්ලාස්ටික් උපකරණ ඇතුළත් කසළ  නිසි ක්‍රමවේදයකින් තොරව විවෘත කසල ගොඩවල්හි දහනය කරන බවත් එසේ කසළ දහනය කිරීමෙන් සෑදෙන ඩයොක්සීන් පිළිකාකාරකයක්වන අතර, මීට අමතරව තවත් බොහෝ වායු දූෂක අතුරුඵල කසල ගිනි තැබීමේදී නිපදවන බවත් ආචාර්‍යය විජේසේකර මහතා කියා සිටියේය. දීර්ඝකාලීන අහිතකර පාරිසරික බලපෑම් සඳහාද එය හේතුවිය හැකි බවත් එතුමන් විසින් තවදුරටත් පැහැදිලි කළේය.

මෙම අහිතකර පාරිසරික තත්ත්වයන් වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ සායනික අපද්‍රව්‍ය ඇතුළු කසළ බැහැර කිරීමේදී ලෝකයේ පිළිගත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියා කිරීම බවත් එතුමා විසින් සාකච්ඡාව අතරතුර ප්‍රකාශ කරන ලදී.

ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසින්ත විජේසේකර,
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය