• ශ්‍රී ලංකාව අවට මුහුදේ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම බහුලව සිදුකෙරෙන අතර, සමුද්‍ර උද්‍යාන සහ ඓතිහාසික නැව් සුන්බුන් පවා මෙම නීතිවිරෝධී ක්‍රියාව නිසා විනාශයට පත්වේ.
  • බලධාරීන් පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම සහ ඉන්දියාවෙන්, මුහුදු මාර්ග ඔස්සේ ඒවා රැගෙන ඒම ඇතුළු, පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීමත් එක් ජාලයක කොටසක් බවයි.
  • පුපුරණ ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාවන් නිසා සංරක්ෂණ ගැටළු ඉහ වහා යන අතර බරපතල ජාතික ආරක්ෂාවක් පිළිබඳ ගැටළුද මතු කරයි. විශේෂඥයින් පවසන්නේ 2019 පාස්කු උත්සවයේදී පල්ලිවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී, ත්‍රස්තයින් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කල අයුරු පෙන්වා දෙමිනි.
  • පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම විනෝදාස්වාදය පිණිස කිමිදෙන කිමිදුම්කරුවන්ට තර්ජනයක් වන අතර, බරපතල තුවාලයක් හෝ මරණයක් පවා ඇති කරමින්, ශ්‍රී ලංකාවේ කිමිදුම් සංචාරක කර්මාන්තයද අවසාන වනු ඇත.

දිනක් මෙරට නැගෙනහිර පළාතේ, පරෙවි දූපතේ පිහිටි ජාතික වනෝද්‍යානයේ, උදෑසනක සංචාරකයින් පිරිසක් බෝට්ටුවකින් අවට ජලයේ සාගර ජීවීන් නැරඹීමට රැගෙන යමින් සිටියහ. එක් වරම ලොකු පිපිරුමක් ඇසුණු අතර එවිට ඇතැම් මාළු ඉතා වේගයෙන් ඉහලට විසිවී ගියහ. පසුව අවට පරිසරය නිහඬ වනවිට, අති විශාල මාළු ප්‍රමාණයක් මියැදී මතුපිට පාවෙමින් හෝ පිහිනීමට පොරබදමින් සිටින ආකාරය ඔවුන්ට නිරීක්ෂණය විය. පිරිසිදු ජලය හරහා ඔවුන්ට මුහුදු පත්ලේ තවත් මිය ගිය මසුන්දද දැකගත හැකි විය.

සංචාරක කණ්ඩායමේ නායක හාන්ස්-ජෝර්ජ් කෙහ්සේ තේරුම් ගත්තේ ඔවුන් මසුන් ඇල්ලීම සඳහා වූ පුපුරණ ද්‍රව්‍යයකින් යන්තම් බේරුණු බවයි.

“ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලීම පරෙවි දූපතේ ජාතික වනෝද්‍යානයේ සහ ඒ අවට සාමාන්‍ය සිදුවීමක් වී ඇති අතර, එවැනි පිපිරුම් ශබ්ද නිතර නිතර ඇසේ,” උද්‍යානය අසල කිමිදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කෙහ්සේ පැවසීය.

ඔහු ඇස්තමේන්තු කළේ එම පිපිරුම ඔහුගේ සංචාරක කණ්ඩායමේ සිට මීටර් 400 ක් හෝ සැතපුම් හතරක පමණ දුරින් බවය. කෙසේ වෙතත් එය මානව ඛේදවාචකයක් විය හැකි බවත්, ශ්‍රී ලංකාවේ දැනටත් අඩපණ වී ඇති සමුද්‍ර සංචාරක කර්මාන්තයට විනාශකාරී පහරක් එල්ල කිරීමට ඉඩ තිබූ බවත් කේසේ පැවසීය.

දිය යට කම්පන සහගත පිපිරීමකින් තුවාල වූ මාළු පිපිරුණු වායු කෝෂ සමඟ පිහිනීමට නොහැකිව සෙමෙන් මුහුදු පතුලට ගිලී යයි. ඡායාරූපය: දර්ශන ජයවර්ධන 

 පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම සඳහා සීමාවක් නොමැත

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීමේදී මසුන් විශාල ප්‍රමාණයක් මරා දැමීමට හෝ කම්පනයට පත් කිරීමට භාවිතා කරන පුපුරණ ද්‍රව්‍යයක් මත රඳා පවතී. දිය යට පිපිරීමෙන් ඇතිවන කම්පන තරංගවලට මාළුවෙකු මිය යාම හෝ වායු කෝෂ හානියට ලක් වීම සිදු විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස මාළුවාට උත්ප්ලාවකතාව නැති වේ. එවිට ධීවරයින්ට එම මසුන්  පහසුවෙන් අල්ලා ගත හැක. නමුත් මෙම ක්‍රියාව ඒ අවට වෙසෙන සියලුම සාගර ජීවීන් අසීමිත ලෙස මරා දැමීම හෝ තුවාල කිරීම සහ කොරල්පර වැනි සාගර වාසස්ථාන වලට හානි වීමට හේතු වේ.

පරෙවි දූපත වැනි සමුද්‍ර උද්‍යානයක කොරල්පර, ප්‍රධාන වශයෙන් දියයට පිහිටි ජීව ආධාරක පද්ධතියක් වන අතර, නැවත නැවත පිපිරීමෙන් එම කොරල් වර්ධනයේ උපස්ථරය බිඳී, යථා තත්ත්වයට පත්වීමට නොහැකි වන බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කොරල් විශේෂඥයෙකු සහ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයෙහි (NARA) හිටපු පර්යේෂකයෙකු වන ආජන් රාජසූරිය පැවසීය. 

දකුණු ශ්‍රී ලංකාවේ කොරල්පර බොහොමයක් දැනටමත් සුදු වී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල කොරල්පර තර්ජනයට ලක්ව ඇත. පරෙවි දූපත පිහිටා ඇති නැගෙනහිර වෙරළ තීරයේ, සජීවී කොරල්පරවල ඉහළ ආවරණයක් ඇති නමුත් පිපිරුම් මසුන් ඇල්ලීම ඔවුන්ට බරපතල තර්ජනයක් වන බව රාජසූරිය මොන්ගාබේ වෙත පැවසීය.

පිපිරුම් ධීවරයෙක් මුහුදු පත්ලේ මිය යන මසුන් එකතු කරන අයුරු. ඡායාරූපය: දර්ශන ජයවර්ධන 

මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ආකර්ශනය වන නැව් සුන්බුන් ස්ථානද, පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මගින් මසුන් ඇල්ලීමේ ඉලක්ක බවට පත්ව ඇති බව කිමිදුම් සංචාරක ක්‍රියාකරුවෙකු වන ‘ඩයිව් ශ්‍රී ලංකා’ හි දර්ශන ජයවර්ධන පවසයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෝවිඩ්-19 වසංගතයෙන් සහ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට උපකාර කිරීම සඳහා ඉවහල් වන අතර, ඊට කිමිදුම් සංචාරක ව්‍යාපාරයද රුකුලක් වනු ඇත, යැයි ජයවර්ධන පැවසීය.

කිමිදුම් ස්ථාන වල සහ අනෙක් ස්ථානයන්හි,  පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම සිඝ්‍රයෙන් වැඩිවන විශාල ගැටළුවක් වන අතර සංචාරකයෙකු තුවාල වුවහොත්, එය ශ්‍රී ලංකාවේ කිමිදුම් සංචාරක කර්මාන්තයෙහි අවසානයක් වනු ඇතැයි ජයවර්ධන මොන්ගාබේ වෙත පැවසීය.

 පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මගින් මසුන් ඇල්ලීම බහුලව පවතින ස්ථාන අතර රටේ නැගෙනහිරින් ත්‍රිකුණාමලය, දකුණෙන් ගාල්ල සහ උතුරින් යාපනයද වේ. නැගෙනහිර පරෙවි දූපත පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නේ එය ශ්‍රී ලංකාවේ සාගර ජාතික වනෝද්‍යාන තුනෙන් එකක් වන බැවින් සහ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස සලකනු ලබන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) අයත් පරිසර පද්ධතියක් බැවිනි. එය නාවික හමුදා කඳවුරක් ආසන්නයේ පිහිටා ඇති අතර, පිපිරුම් හඬවල්ද පැහැදිලිව ඇසේ.

ට්‍රෙවාලි වැනි විශාල මසුන් බොහෝ විට පිපිරුම් ධීවරයින් විසින් ඉලක්ක කරනු ලැබේ. ඡායාරූපය: දර්ශන ජයවර්ධන

පුපුරණ ද්‍රව්‍ය සංසරණයෙන් බැහැරව තබා ගැනීම

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ හැකි සෑම විටම  පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම සඳහා භූමියේ සිටින, දෙපාර්තමේන්තු නිලධාරීන් වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි. පරෙවි දූපත අසල ස්ථානගත කර ඇති නිලධාරීන් පැවසුවේ පිපිරුම් හඬක් ඇසෙන සෑම විටම අපරාධකරුවන් පසුපස යාමට උත්සාහ කරන නමුත් මෙම ක්‍රියාකාරකම් කෙතරම් හොඳින් සම්බන්ධීකරණය වී ඇත්ද යත් මුහුදේ සිටින ධීවර යාත්‍රා, මුර සංචාර යාත්‍රා පිළිබඳව තොරතුරු ලබා දී ඔවුන්ට පලා යාමට කාලය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ටීඑන්ටී, සී4 සහ ජෙලග්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමඟ පසුගිය වසර කිහිපය තුළ,  පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දෙවැන්න, ජලය මත පදනම් වූ පිපිරුම් ජෙලටින්, වැඩි වැඩියෙන් යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය බවට අණාවරනය කරගෙන ඇත.

2017 දී නාවික හමුදාව විසින් ‘වෝටර් ජෙල්’ කිලෝග්‍රෑම් 52 (රාත්තල් 115) අත්අඩංගුවට ගෙන ඇත. 2019 පළමු මාස ​​කිහිපය තුළ ඔවුන් කිලෝග්‍රෑම් 63 (රාත්තල් 139) අත්අඩංගුවට ගෙන ඇත. 2019 අප්‍රේල් පාස්කු පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව, පුපුරණ ද්‍රව්‍ය සංසරණයට එරෙහිව දැවැන්ත මර්දනයක් සිදු වූ අතර, එම කාලය තුළ  පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම පහත වැටුණි.

ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ කයර්න්කර්නි හා පාසිකුඩා වෙරළට ඔබ්බෙන් වූ එස්එස් බ්‍රිටිෂ් සර්ජන්ට් නම් සුන්බුන් වූ නැවෙන් මසුන් ඇල්ලීම. ඡායාරූපය: නිශාන් පෙරේරා 

ශ්‍රී ලංකාවේ පුපුරණ ද්‍රව්‍ය බෙදා හැරීම නාවික හමුදාව විසින් නියාමනය කරනු ලැබේ. පිපිරුම් මසුන් ඇල්ලීමේදී භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය මෙම බෙදාහැරීමේ දාමයෙන් සිදුවේ. නැතහොත් අසල්වැසි ඉන්දියාවෙන් මුහුදු මාර්ගය හරහා රටට හොර රහසේ ගෙන එනු ලැබේ. පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් තහනම් ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා මෙම මුහුදු මාර්ගයේ මුර සංචාර දැඩි කර ඇති බව නාවික හමුදාව පවසයි.

එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම උත්සාහයන් පවා අඩපණ වෙමින් පවතී. මන්ද ඉන්ධන වල උග්‍ර හිඟයක් පවතින බැවින් වනජීවී දෙපර්තමේන්තුව මුර සංචාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවක් පවතී. මේ අතර නාවික හමුදාව තවත් බරපතල ගැටලුවක් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් නැවැත්වීම.

කොරල්පර විශේෂඥ රාජසූරිය මහතා පැවසුවේ පුපුරණ ද්‍රව්‍ය ලබා ගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව හඳුනාගත නොහැකි බවයි. පිපිරුම් මසුන් ඇල්ලීමේ ගැටලුව සංරක්ෂණ ප්‍රශ්නයක් වී ඇති අතර එය දැන් ජාතික අවධානයට ලක්ව ඇති බව ඔහු පැවසීය. 2019 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව ඇති වූ තත්ත්වයට සමානව, මෙම පුපුරණ ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේදැයි හඳුනා ගැනීම සඳහා දැඩි සුපරීක්ෂාකාරීව බුද්ධි තොරතුරු රැස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පිපිරීමට පෙර කොරල් පරයක ආකාරය. ඡායාරූපය: නිශාන් පෙරේරා

දේශපාලන මැදිහත්වීම සහ දුප්පත්කම

ශ්‍රී ලංකාවේ, උතුරු කලාපයේ මන්නාරම් ප්‍රදේශයේ පිපිරුම් ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම බහුලව දක්නට ලැබෙන බව එහි විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණ කළ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එස් එස් එම් පෙරමුණගම පැවසුවේය. මන්නාරමේ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීම වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ධීවරයින් විසින් සිදු කරන බව බොහෝ දෙනා සිතන නමුත් එය සැබවින්ම කරන්නේ දේශීය ධීවරයින් බව පෙරමුණගම මහතා පැවසීය.

මාළු වෙළඳපොළට පැමිණෙන විට, ඔවුන් පිපිරීමකින් මිය ගියාද යන්න තීරණය කිරීම ධීවර පරීක්ෂකවරුන්ට පවා අපහසුය. “නීතිය ක්‍රියාත්මක කිරීමේ තවත් දුෂ්කරතාවයක් නම්, අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කිරීමට බලපෑම් සිදු කරන දේශපාලන මැදිහත්වීම්ය” පෙරමුණගම මොන්ගාබේට පැවසීය. පුපුරණ ද්‍රව්‍ය හසුරුවන විට එම පුපුරන ද්‍රව්‍ය මගින් අත් පා අහිමි වීම වැනි පුද්ගලික අවදානමද ඔහු අවධාරණය කළේය.

පිපිරීමකින් මිය ගිය මාළු කිමිදුම්කරුවෙකු විසින් බෑග්වල අසුරා බෝට්ටුවකට ඇද දමයි. ඡායාරූප: දර්ශන ජයවර්ධන

 පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින්  මසුන් ඇල්ලීම පිළිබඳ පවතින විද්‍යාත්මක සාහිත්‍යයේ 2021 සමාලෝචනයකින් පෙන්නුම් කරන්නේ එය දුප්පත්කමට වඩා වැඩි යමක් විසින් මෙහෙයවනු ලබන ලෝක ව්‍යාප්ත ගැටලුවක් බවයි. “19 වැනි සියවසේ අගභාගයේදී පුපුරණ ද්‍රව්‍ය සාපේක්ෂ වශයෙන් නිදහසේ ලබා ගැනීමට පටන් ගත් දා සිට අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ යුරෝපයේ පිපිරුම් මසුන් ඇල්ලීම සිදුවෙමින් පවතී” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් එංගලන්ත විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කතුවරිය වන මෙලිසා හැම්ප්ටන් ස්මිත් පැවසුවාය. අග්නිදිග ආසියාවේ, ටැන්සානියාවේ, රතු මුහුදේ සහ ආසියාවේ තවත් බොහෝ ප්‍රදේශවල, විනාශකාරී පුපුරන ද්‍රව්‍ය භාවිතයන් හඳුනාගෙන ඇත.

 පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් ඇල්ලීමට ධීවරයින් පොළඹවන ප්‍රධාන සාධකය ලෙස දිළිඳුකම බොහෝ විට සඳහන් කළද, විශාලතම දායකත්වය වන්නේ පුපුරණ ද්‍රව්‍ය වෙත පහසුවෙන් ප්‍රවේශ වීම බව හැම්ප්ටන්-ස්මිත් පැවසීය. පිපිරුම් මසුන් ඇල්ලීම සිදු නොකරන ධීවරයින්ට වඩා. පිපිරුම් ධීවරයින් ධනවත් වන බවදද සමාලෝචනයෙන් පෙන්වා දී ඇත.

මුලාශ්‍ර 

Peramunagama, S. S. M., & Thusyanthini, R. (2021). The importance of involving community organizations for preventing destructive fishing activities in Mannar, Sri Lanka. Advances in Technology, 1(1), 177-190. doi:10.31357/ait.v1i1.4850

Hampton-Smith, M., Bower, D. S., & Mika, S. (2021). A review of the current global status of blast fishing: Causes, implications, and solutions. Biological Conservation, 262, 109307. doi:10.1016/j.biocon.2021.109307

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Protected areas not exempt as blast fishing blows up in Sri Lanka නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.