තරුෂි පිටිගල විසිනි.
ශ්‍රී ලංකාවේ ඉතා අඩු අවදානයයක් සහිත සත්ත්ව කොට්ඨාශයක් වන වවුලන් පිළිබඳව සිදුකළ අධ්‍යනයකින් මෙරට හා ඉන්දියාවේ ජීවත්වන, නව වවුල් විශේෂයක් සොයා ගැනීමට සමත් වි ඇත. වසර අසූවකට පසු ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නව Miniopterus වවුල් විශේෂයක් සොයාගත් පළමු සොයාගැනීම ලෙස මෙය සැලකිය හැකිය. එමෙන්ම ආසියාව තුලින් දශක හයකට පසුව මෙම ගනයට අයත් නව වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාවද වේ. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් මෙම නව වවුල් විශේෂයට අදාල සත්ත්ව නිදර්ශක මීට පෙර හමුවී තිබුණත් එවා හඳුනාගෙන තිබී ඇත්තේ වෙනත් වවුල් විශේෂයක් ලෙසය.
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව සිටින වවුල් විශේෂ පිළිබඳව පර්යේෂණ සිදු කරමින්, පශ්චාත් උපාධි අධ්‍යනය වෙනුවෙන් මෙරට වවුලන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් හි නිරත තරුණ ජීව විද්‍යාඥයෙකු වන තාරක කුසුමින්ද ප්රමුඛ පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජීවත්වන මෙම නව වවුල් විශේෂය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු සොයා ගැනීමට සමත් වි ඇත.
ලංකාවේ වවුලන් විශේෂ අධ්‍යනයේදී ජාන තාක්ෂණය යොදා ගනිමින් සිදු කරනු ලබන පර්යේෂණයක් මින් පෙර අධ්‍යනය කොට තිබුනේ එක් වරක් පමණි. ඒ පලතුරු ආහාරයට ගන්නා වවුල් විශේෂයක් සඳහායි.
මෙම පර්යේෂණය සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක තාරක කුසුමින්ද, ආචාර්ය අමානි මාන්නක්කාර, මහාචාර්ය විපුල යාපා, ආචාර්ය කනිශ්ක උකුවෙල, රාජික ගමගේ, චාමර අමරසිංහ, මතීශ කරුණාරත්න මෙන්ම විදේශීය පර්යේෂකයන් ලෙස මහාචාර්ය බෘස් පැටසන් ඇතුළුව හන්ගේරියාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, රුසියාව හා එක්සත් රාජධානිය යන රටවල පර්යේෂකයන් රැසක් දායක වී ඇත.
නාමකරණය
මෙම නව වවුල් විශේෂය සිංහල බසින් ‘පිලිප්ගේ දික් පිය වවුලා’ ලෙසත්, විද්‍යාත්මක නාමකරණයට අනුව Miniopterus phillipsi ලෙසත් නාමකරණයකොට ඇත.
ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී සතුන් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකර එම ක්ෂේත්රයට අසම සම සේවාවක් සිදුකල ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන ඩබ්ලිව්. ඩබ්ලිව් ඒ. පිලිප්ට ගෞරවයක් ලෙස මෙම වවුල් විශේෂය ‘පිලිප්ගේ දික් පිය වවුලා’ ලෙස නම් කොට ඇත. පිලිප් ඉපදී, හැදී වැඩුණේ එංගලන්තයේ වන අතර කුඩා කල සිටම ස්වභාව ධර්මයට ආදරය කළ අයෙකි. ඔහු වෘත්තියෙන් වැවිලිකරුවෙක් වන අතර ලංකාවට පැමිණියේ තේ වැවිලිකරුවෙකු ලෙසයි.
මෙම අධ්‍යනය සඳහා වවුල් විශේෂයේ සුබෙදු විද්‍යාත්මක පසුබිම, රූප විද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක දත්ත ද යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාව තුල වවුල් විශේෂ සඳහා සිදුකරනු ලබන පර්යේෂණ වෙනුවෙන් ජාන තාක්ෂණය යොදා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.
“වවුල් විශේෂ සඳහා ශ්‍රී ලංකාව තුල ඇත්තේ ඉතා අඩු අවධානයක්’ තාරක කුස්මින්ද ප්‍රකාශ කළේය.
මින් පෙර මෙම නව වවුල් විශේෂය Miniopterus fuliginosus නම් විශේෂය ලෙස වරදවා හඳුනාගෙන ඇති බවත් අධ්‍යනයේදී ජාන තාක්ෂණය යොදා ගනිමින් මෙම විශේෂයට අදාළ සුබෙදු විද්‍යාත්මක පසුබිම තහවුරු කර ගැනීමෙන් එය අනාවරණය වූ බවත් කුස්මින්ද ප්‍රකාශ කළේය.
වාසස්ථාන සහ ව්‍යාප්තිය
මෙම විශේෂයෙහි දර්ශීය නිදර්ශකය, ඌව පළාතේ, ඉඳල්ගස්හින්න දුම්රිය ස්ථානය අසළ ගුහාවකින් සොයා ගත් බවත් මීට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන රැසකින් එකතු කොට ගත් සත්ත්ව නිදර්ශක රාශියක් මෙම අධ්‍යනය සඳහා යොදා ගත් බවත් කුස්මින්ද පැවසුවේය. එම ස්ථාන අතර අරණායක සඳරාජ වනය, තලවකැලේ, වැල්ලවාය වවුල් ගල්ගේ, වවුල්පනේ හුනුගල් ගුහාව යන ස්ථානද ඇතුළත් වේ.
මෙම වවුල් විශේෂය උන්නතාංශය මීටර් 263 – මීටර් 1590 අතර ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි පරිසර කලාප තුල සාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවත් වියළි කලාපයේ ස්ථාන කිහිපයක හමු වූ බවත් කුස්මින්ද ප්‍රකාශ කළේය.
මෙම වවුල් විශේෂයෙහි ලැගුම් පොළවල් ලෙස පර්යේෂකයන්ට හමු වුයේ සීතල සහිත ස්වභාවික ගල් ගුහා හා ඊට බොහෝ සමාන අතහැර දමන ලද උමං මාර්ගයකින් පමණක් වේ.
“වවුල් විශේෂ තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් දහවල් ලැගුම් පොළවල්හි ලැගුම් ගනිමින් ජිවත් වෙනවා. මොවුන්ට වාසස්ථාන සපයන විශාල ගල් පර්වත, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් සහ කලුගල් අවශ්‍යතා වෙනුවෙන් විනාශ කිරීම හේතුවෙන් වවුලන්ගේ ඉදිරි පැවැත්ම සඳහා ඍජුව බලපා තිබෙනවා. එය මෙම වවුල් විශේෂයට පමණක් නොව ගුහා ආශ්‍රිතව ජීවත් වන සියලුම වවුල් විශේෂයන් හට තර්ජනයක් වී තිබෙනවා.” යැයි කුස්මින්ද ප්‍රකාශ කළේය.
“අතහැර දමන ලද පාලු ගෙවල් ආශ්‍රිතව වවුලන් වාසස්ථාන ගෙන සිටින අවස්ථාවලදීත් නැවත එම නිවාස මිනිසුන් පාවිච්චියට ගැනීමේදී, නිවාස තුල සිටින වවුලන් පලවා දැමීම එකවරම සිදු කරන බැවින් එම වවුලන් මිය යෑම, ඔවුන්ට ඇති තවත් තර්ජනයක් බවද පන්සල් සහ කෝවිල් වල ඇති ලෙන් ගුහා වල වාසය කරන වවුලන් හේතුවෙන් එහි පුරාවිද්‍යාත්මක වටිනාකමට හානි වියහැකි බැවින් ඔවුන් එලවා හෝ මරා දැමීම සිදු කරන බවද, එසේ එකවර වාසස්ථාන අහිමි වීම වවුල් ගහණ සීඝ්‍ර ලෙස අඩු වී යාමට හේතුවක් බවද” පොදුවේ සියලුම වවුල් විශේෂ මුහුණ පා ඇති තර්ජන පෙන්වා දෙමින් කුස්මින්ද අදහස් දැක්වීය. එකවර එළවා දමනවාට වඩා සෙමින් ඉවත් කිරීමේදී නිසි විද්‍යාත්මක සහයක් ලබා ගනිමින් නිසි ආකාරයට ඉවත් කිරීම් කටයුතු සිදුකිරීම වඩාත් වටිනා බවද කුස්මින්ද තවදුරටත් අදහස් එක් කරමින් පැවසීය.
“කඳුරයේ තේ වතු ආශ්‍රිතව බොහෝ වවුල් කොලනි දිරච්ච ගස් බෙනවල නිරීක්ෂණය වුවත් දැව හෝ දර සඳහා ඒවා කපා ඉවත් කිරීමෙන් වවුල් ගහනය එකවරව විනාශ වෙනවා” තේ පර්යේෂණ ආයතනයේ තාක්ෂණවේදී රාජික ගමගේ ප්‍රකාශ කළේය. එමෙන්ම කඳුරයේ සුලබව සිදුවන කැලෑ ගිනි තැබීම් වවුල් කොළණි සඳහා දැඩි බලපෑම් ඇති කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
“සමහරක් ප්‍රදේශ වල වවුලන් මස් පිණිස මරා දමනවා නිරීක්ෂණය වී තිබෙනවා. ගුහා ආශ්‍රිතව ජීවත් වන වවුල් විශේෂ මෙන්ම මා වවුලන් පවා මස් පිණිස මරනවා. ඇතැමුන් ඖෂධ පිණිසත් වවුලන්ගේ ශරීර කොටස් යොදා ගැනීම සිදු කරනවා”
ගුහා ආශ්‍රිතව සිදු කරනු ලබන මානව ක්‍රියාකාරකම්, මෙම වවුල් විශේෂය ඇතුළු අනෙකුත් ගුහා ආශ්රිත විශේෂයන්ට බලපානු ලබන විශේෂ තර්ජනයක් වේ. තවද ගුහා ආශ්‍රිතව සිදු කරනු ලබන සංචාරක කටයුතු අනාගතයේදී පුළුල් වුවහොත් ඒවායේ වාසය කරන වවුල් විශේෂ සියල්ලන්ටම දැඩි තර්ජනයක් විය හැකි බවත්, එවැනි ස්වභාවික සම්පත් යොදා ගනිමින් සිදු කරනු ලබන මුදල් ඉපැයීම්, නිවැරදි තත්ව හා පරිසර හිතකාමී ලෙසින් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් කුස්මින්ද විශේෂයෙන් අවධාරණය කළේය.
එමෙන්ම මෙම විශේෂයේ තර්ජිත මට්ටම පිළිබඳව තවදුරටත් පර්යේෂණ කලයුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.
වවුලන් සංරක්ෂණය
ලංකාවේ සහ ලෝකයේ ජිවත් වන වවුල් විශේෂ වලින් 95%ක් පමණම කෘමි භක්ෂක වවුලන් වන අතර ඉතිරිය පලතුරු භක්ෂක වවුලන් වේ. කෘමි භක්ෂක වවුලන් විසින් පරිසර සමතුලිතතාව සඳහාත්, වගා හානි සිදුකරනු ලබන කෘමි මර්දනයටත්, මදුරුවන් වැනි ව්‍යාධි ජනක කෘමි පාලනයටත් වැදගත් වන ස්වභාවික කෘමි පාලකයක් ලෙසට සැලකේ. එමෙන්ම පළතුරු භක්ෂක වවුලන් බීජ ව්‍යාප්තියට සහ ප්රචාරණයටත්, පරාගණණයටත් විශාල වැදගත් කමක් දක්වයි.
ඉතාමත් අඩු පර්යේෂණ අවධානයක් දිනා සිටින වවුලන් කෙරෙහි ඇති විවිධ මිත්‍යා මත හේතුවෙන් බොහෝදෙනා තුල ඇත්තේ අනියත බියක් සහ අකමැත්තක්. නමුත් වවුලන් සිදු කරනු ලබන පාරිසරික සේවය පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ ඉතා අඩු දැනුමක් බව කුස්මිද ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් වවුලන් සංරක්ෂනය සඳහා කල යුතු ප්‍රධානම දෙයක් වන්නේ ප්‍රජා දැනුවත් කිරීම බව ඔහු විශ්වාස කරයි.
කෘමි රසායනික යෙදීම, වවුලන් වඳවීමට හේතුවක් විය හැකි බව සහ තේ වගාව ආශ්‍රිතව වවුලන්ට ඇති බලපෑම පිළිබඳව ඇත්තේ ඉතා අඩු පර්යේෂණ වාර්තා ප්‍රමාණයක් වීම කණගාටුවට කරුණක් බවත් ගමගේගේ අදහසයි.
වවුලන් ගැන ඇති අඩු විද්‍යාත්මක පර්යේෂණ හේතුවෙන් ඔවුන්ට ඇති තර්ජන ගැන පවා ඇත්තේ අඩු අවබෝධයකි. වවුලන් කොළණි සහ ඔවුන්ගේ ගහණ පිළිබඳ දත්ත එකතු කිරීමේ දීර්ඝ කාලීන අධ්‍යනයන්ද, ඒවා සංරක්ෂණයට ගත හැකි ක්රියාමාර්ගයන්ද හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමෙන් ශ්‍රී ලංකාවේ වවුලන් සංරක්ෂණයට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගත හැකි බව ඔහුගේ අදහසයි.
ශ්‍රී ලංකාව තුල වවුල් විශේෂ පිළිබඳව සහ ඔවුන්ගේ නිවැරදි විවිධත්වයන් පිළිබඳව අදහසක් ගැනීමට සහ වවුලන් සංරක්ෂණය සඳහා ඇති විශාලම බාධකය වන්නේ විද්‍යාත්මක දත්ත අවම වීමයි. එම අඩුව පුරවාගැනීමට මෙම සතුන් පිළිබඳව ජාන විශ්ලේෂණ පර්යේෂණ සහ ස්වභාවික වාසස්ථාන පිලිබඳ පර්යේෂණද සිදුකල යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.
Comments are closed for this post.