- ශ්‍රී ලංකාවේ විශාලතම නාගරික තෙත් බිම, කොළඹට නුදුරින් දියවන්නා වැව ආශ්‍රිතව, සංක්‍රමණික සහ ආවේණික පක්ෂි විශේෂ 100කට පමණ නිවහන වේ.
- වගුරු බිම්වල ඇති විස්තීර්ණ බට පාත්ති, කොරවක්කන් (Amaurornis phoenicurus), මීයන් සහ කොකුන් විශේෂ කිහිපයක් සඳහා කදිම කූඩු සහ පෝෂණ පහසුකම් සපයයි.
- මෙම ප්‍රදේශය මාල ගිරවුන් (Psittacula krameri), කහ කුරුල්ලන් (Oriolus xanthornus), පොලොස් කොට්ටෝරුවන් (Megalaima zeylanica) සහ කොවුලන් (Eudynamys) ආකර්ෂණය කරන සෑම තැනකම පැතිරී ඇති පොල් ගස්වලට අමතරව ඝන වනයද රඳවා තබා ගනී.
- වසංගතය අතරතුර අගුලු දැමීම් හේතුවෙන්, මිනිසා විසින් ඇති කරන ලද බාධාවන් නොමැති විට ප්‍රදේශයේ පක්ෂි ජීවිතය සමෘද්ධිමත් වීමට පටන් ගත්තේය.
ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා වැව, කුරුල්ලන්ට තෝතැන්නක් වන සහ ස්වභාවධර්මයට ලැදි අයගේ ආකර්ෂණයක් වන නාගරික තෙත් බිමක හදවතෙහි පිහිටා ඇත. බහුල ගස් වැස්මක් සහ ජල කඳන් සහිත සශ්‍රීක ප්‍රදේශය ඉන්දියානු උප මහද්වීපයට පොදු වන අනෙකුත් පක්ෂීන් මෙන්ම ජලජ පක්ෂීන් විශාල සංඛ්‍යාවකට නිවහන වේ. මෙම අඩවිය රටේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6 ක්) දුරින් පිහිටා ඇති අතර නාගරික පක්ෂීන්ට වසර පුරා වාසයට අවස්ථාව ලබා දේ.
පාර්ලිමේන්තුව සහ අනෙකුත් රජයේ කාර්යාල සඳහා ඉඩකඩ ඇති ප්‍රදේශයක් සෙවීම සඳහා 1982 දී ශ්‍රී ලංකාව සිය පරිපාලන අගනුවර කොළඹින් පිටතට ගෙන ගියේය. මේ සමඟ අලුතින් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයේ පදිංචි වීමට බලාපොරොත්තු වන විශාල ජන සංක්‍රමණයක් ද සිදු විය. ශීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් ප්‍රදේශයේ සැලකිය යුතු භූමි ප්‍රමාණයකින් සමන්විත වගුරු බිම් ගොඩකිරීමට හේතු වූ අතර, දියවන්නා ඔය ප්‍රදේශය තවමත් කොළඹ දිස්ත්‍රික්කයේ විශාලතම තෙත් බිමව සිටිමින් ස්වභාවධර්මයට ආදරය කරන්නන්ට සහ කුරුල්ලන්ට සෙවණ සපයයි.
මෙම ස්ථානයේ ප්‍රධාන අංගයක් වන්නේ කුඹුරුවලට ජලය සැපයීම සඳහා ඉදිකරන ලද පුරාණ ජලාශයක් වන තලංගම වැවයි. නේවාසික ඉඩකඩ සඳහා ඇති ඉල්ලුම නිසා ඉඩම් මිල ඉහළ යාම නිසා ප්‍රදේශයේ වී වගාව ශීඝ්‍රයෙන් අඩු වී ඇතත් එය අදටත් නොවෙනස්ව පවතී.
ශ්‍රී ලංකාවේ කුරුල්ලන් පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කලල ගෙහාන් ද සිල්වා විජයරත්න පවසන පරිදි අද වන විට ජලාශය පක්ෂි විශේෂ 100 කට වඩා සත්කාර කරයි. “ප්‍රධාන විශේෂ වන්නේ දේශීය ජනගහනය වැඩි කරන සංක්‍රමණික රෑ කොකා, මඩ කොකා (Ixobrychus flavicollis, Ixobrychus sinensis) සහ ගැලිනුවා (Gallicrex cinerea)” වේ. විජයරත්න ඔහුගේ ඡායාරූප මාර්ගෝපදේශයෙහි ලියයි.
දියසරු උයන, ජලයෙන් පොහොසත් වනෝද්‍යානයක් බවට පරිවර්තනය වී ඇති අතර, එය හෙක්ටයාර් 24 (අක්කර 60) ක තෙත් බිම් කොටසකි. එය 2017 දී උද්‍යානයක් ලෙස නම් කරන ලදී. එය කුරුළු ලෝලීන් අතර ජනප්‍රියයි.
නෙළුම් වලින් වැසී ගිය පොකුණු සහ තණකොළ ඉවුරු සහිත මෙහි සෑම ප්රදේශයක්ම එකිනෙකින් කිලෝමීටර 5 (සැතපුම් 3) ට වඩා අඩු දුරකින් පිහිටා ඇති අතර, එම නිසා කුරුල්ලන් නැරඹීම සඳහා නරඹන්නන් උදේ පාන්දරින්ම පිටත්ව යන ජනප්‍රිය කුරුළු පථයක කොටසකි.
දියවන්නා වැව ප්‍රදේශයේ ප්‍රධාන ආකර්ෂණයන් වන්නේ සැවුල් පෙද දිය සෑනා (Hydrophasianus chirurgus), රතු තැලි කිරලා (Vanellus indicus) සහ කිතලා (Porphyrio poliocephalus) ඇතුළු ජලජ පක්ෂීන්ය. ඔවුන් තෙත්බිම් වල ආරක්ෂිත වටපිටාවේ පෝෂණය හා අභිජනනය කරයි. පුළුල් බට ගාල්, කොරවක්කා (Amaurornis phoenicurus), මීයන් සහ කොකුන් විශේෂ කිහිපයක් සඳහා කදිම ආහාර සහ කැදලි බිම් සපයයි.
පෙලිකන් (Pelecanus philippensis), අහිකාවා (Anhinga melanogaster) ඉන්දියානු දියකාවා (Phalacrocorax fuscicollis), හීන් තඹ සේරුවා (Dendrocygna javanica) ද එහි බහුලව දක්නට ලැබේ.
ප්‍රදේශයේ පදිංචි පක්ෂීන් අතර ළය සුදු පිළිහුඩුවා (Halcyon smyrnensis), ගෝමර පිළිහුඩුවා (Ceryle rudis) සහ නිල් පෙඳ බිඟුහරයා (Merops philippinus) ද වේ. සෘතුමය අමුත්තන් අතරට වසරේ අග භාගයේදී පැමිණ ගස් මුදුන්වල කූඩු තනා ගන්නා ආසියානු විවරතුඩුවා (Anastomus oscitans)ද අයත් වේ.
ඉන්දියානු පැරඩයිස් ෆ්ලයිකැචර් (Terpsiphone paradisi) සහ උප විශේෂයක් වන ශ්‍රී ලංකා පැරඩයිස් ෆ්ලයි කැචර් (T. p. ceylonensis) වැනි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශවලින්ද කුරුල්ලන් මීට සංක්‍රමණය වන අතර එය නොවැම්බර් සහ මාර්තු අතර දුර්ලභ හා බොහෝ අපේක්ෂිත වාර්තා ඇති කරයි.
2020 මාර්තු මාසයේදී COVID-19 වසංගතය ආරම්භ වීමත් සමගම, ශ්‍රී ලංකා බලධාරීන් විසින් පනවන ලද අගුලු දැමීම් සහ සංචරන සීමා හේතුවෙන්, දියවන්නාවෙහි කුරුල්ලන්, මිනිසුන් විසින් ඇති කරන ලද කැළඹීම් නොමැතිව වර්ධනය වීමට පටන් ගත්තේය. කුරුල්ලන්ට, එම වැව සහ ඒ අවට පරිසරයේ නිස්කලංක ගමනක් යාමටත්, ප්‍රදේශයේ සුන්දරත්වය විඳගැනීමටත් ඉන් අවස්ථාව ලැබිනි.
Chandani Kirinde විසින් Mongabay වෙත ලියන ලද Photos: On Colombo’s outskirts, an urban birding paradise flourishes නම් ලිපියේ සිංහල පරිවර්තනයකි
Comments are closed for this post.