එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියට (UNFCCC) අදාළව පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP 26) ඊයේ ආරම්භ වූ අතර එය නොවැම්බර් 12 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගො නගරයේදී පැවැත්වේ. මේ සඳහා ලොව වටා ජාතික නායකයින් රැසක් සහභාගී වේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවතින සටන වෙනුවෙන් පවත්වනු ලබන තීරණාත්මක සමුළුවක් ලෙස මෙය සලකනු ලබයි. මෙහි සම සභාපතිත්වයන් දරන්නේ එක්සත් රාජධානිය සහ ඉතාලියයි. මේ සඳහා ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින්, රාජ්‍ය නියෝජිතයන්, දේශගුණය සම්බන්ධ විශේෂඥයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වේ.
පළමු වරට මෙම සමුළුව පවත්වා ඇත්තේ 1995 වර්ෂයේදී බර්ලින් නුවරදීය. 1995 වර්ෂයේ සිට සෑම වර්ෂයකදීම සති දෙකකට අසන්න කාලයක් එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පවත්වා ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ ක්ෂේත්රයේ විශේෂඥයින් සහ අදාල පාර්ශවකරුවන් හට දේශගුණික විපර්යාස හා දේශගුණික අර්බුධ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමයි. සෑම වසරකදීම පවත්වනු ලබන මෙම සමුළුව කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ නොපැවැත් වූ අතර එය මෙම වසර දක්වා කල් දැමීය. මෙවර පවත්වනු ලබන්නේ එම සමුළුවෙහි 26 වන රැස්වීම වන බැවින් එය COP26 ලෙස නම් කොට ඇත.
මෙවර COP 26 දේශගුණ සමුළුවෙහි ප්‍රධානම සහ කැපී පෙනෙන අරමුණ වන්නේ ෆොසිල ඉන්ධන, විශේෂයෙන්ම ගල් අඟුරු භාවිතය අවසන් කිරීම වේගවත් කොට ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සෙල්සියස් අංශක 1.5හි පවත්වා ගැනීමයි. ගල් අඟුරු භාවිතය නැවත්වීම, වන විනාශය සීමාකිරීම, විදුලි වාහන භාවිතයට නැඹුරු වීම හා පුනර්ජනනීය බලශක්ති සඳහා ආයෝජන දිරිමත් කිරීම මඟින් ශත වර්ෂයේ මැද භාගය වන විට ගෝලීය ශුද්ධ ශුන්‍ය විමෝචනය කිරීමේ ඉල්ලකය ජය ගැනීම වැනි කරුණු පිළිබඳව මෙහිදී සකච්ඡා කෙරෙනු ඇත. මීට අමතරව කාබන් විමෝචන අවම කරගැනීම සඳහා සංවර්ධිත රටවල් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳවද සමුළුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
පැරිස් ගිවිසුමේ කොටසක් ලෙස, දේශගුණ විද්‍යාව පිළිබඳ ලෝකයේ ප්‍රමුඛතම අධිකාරිය – දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය – ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉහළ යාමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සමීපව පරීක්ෂා කිරීමට යෝජනා කල අතර එහිදී සෙල්සියස් 1.5 සිට සෙල්සියස් 2 දක්වා උනුසුම් වීමෙන් සිදුවන හානියෙහි විශාල වෙනසක් ඔවුන් සොයා ගත් අතර, අඩු උෂ්ණත්වය වඩා ආරක්ෂිත බව නිගමනය කළහ. එම හේතුවෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5හි පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් පිළිබඳව විශේෂ අවධානයක් සමුළුවේදී යොමු කරනු ඇත. මන්ද එසේ ඉදිරි වසර කිහිපයේදී ගෝලීය උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් මිනිසුන්ට සහ සොබාදහමට පුළුල් හා විනාශකාරී බලපෑමක් ඇති වනු ඇත. සාගර ජලයේ උණුසුම් වැඩි වී කොරල්පර සියල්ලම පාහේ විනාශ විය හැකිවීම, ආක්ටික් මුහුදේ අයිස් සම්පූර්ණයෙන්ම දිය වී යා හැකිවීම සහ වනසතුන්ට විනාශකාරී බලපෑම් ඇතිවීම මෙන්ම මුහුදු මට්ටම මීටර් කිහිපයක් ඉහළ යාමට හැකි වීම වැනි අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇතිබවට විශේෂඥයන් මත පලකොට ඇත.
දේශගුණික තත්ත්වයන් දැනටමත් වෙනස් වෙමින් පවතින අතර විමෝචනය අවම කලද එම දේශගුණික වෙනස් වීම් නොකඩවා සිදුවිය හැකි බැවින් ස්වභාවික වාසස්ථාන සහ ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට වැඩි වශයෙන් ලක්වන ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡාව මෙම සමුළුවේ තවත් ප්‍රධාන අරමුණකි.
ඉහත සඳහන් පළමු ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහාත්, පැරිස් ගිවිසුමෙහි සඳහන් සවිස්තරාත්මක නීති ඇතුලත් පැරිස් නීති පොතෙහි වැඩකටයුතු අවසන් කිරීමත්, රජයන්, ව්‍යාපාරිකයන් සහ සිවිල් සමාජය අතර සහයෝගිතාවයෙන් දේශගුණික අර්බුධ විසඳීමට ක්‍රියාමාර්ග ගැනීමටත් සියළු ජාතීන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමත් මෙහි අනෙක් ප්‍රධාන අරමුණු අතර වේ.
COP හි ක්‍රියාකාරකම් මුලික කලාප දෙකකින් සිදු වේ. එනම් නිල් කලාපය සහ හරිත කලාපයයි. නිල් කලාපය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියෙහි (UNFCCC) ගෝලීය සම්බන්ධීකරණය කිරීමේ කාර්යය සඳහා ලියාපදිංචි පුද්ගලයින් සඳහායි. හරිත කලාපය පොදු ජනතාව සඳහා වේ. එහි දී වැඩමුළු, ප්‍රදර්ශන සහ මෙන්ම ඉදිරිපත් කිරීම්, සංගීත සංදර්ශන ඇතුළු විවිධ අංග රැසක් පවත් වේ.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවතින සටන වෙනුවෙන් පවත්වනු ලබන තීරණාත්මක අවස්ථාව ලෙස සැලකෙන මෙම සාකච්ඡාවට බඳුන් වන කාරණා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යයන්හි එකඟතාවයන් ඇති වුවහොත් දේශගුණික විපර්යාසයන් යම් අයුරකින් හෝ ජය ගත හැකි බව විශේෂඥයන්ගේ අදහසයි.
Comments are closed for this post.