තරුෂි පිටිගල විසිනි.

මෙලොව ජීවත්වන වැදගත්ම ජීවියා තමන් බවට මිනිසා විසින් උදම් අනමින් සිතා සිටියත් මෙලොව සිටින වැදගත්ම ජීවියා ලෙස නම් කොට ඇත්තෙ මී මැස්සාවයි.

2019 වර්ෂයේ ලන්ඩනයේදී රාජකීය භූගෝල විද්‍යා සමාජය විසින් පැවැත්වු විද්‍යාත්මක සංවාදයකදී ‘අර්ත් වොච්’ ජාත්‍යන්තර විද්‍යායතනයේ විද්‍යාඥයන් විසින් මී මැස්සා ලොව සිටින වැදගත්ම සත්ත්වයා බවට නම් කරන ලදී. නමුත් කෘමි විද්‍යාඥයින් පවසන්නේ, මී මැස්සන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ජීවි විශේෂයක් බවයි. ලෝකයේ සිටින මී මැසි ගහණයෙන් 90% පමණම මේ වනවිට වඳ වී ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් කොට ඇත. 

ලෝක බිඟු දිනය 

මී මැස්සන්ගේ වැදගත්කම සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සමාජ දැනුවත් කිරීම් සඳහාත් මී මැස්සන් කෙරෙහි අවදානය ඇති කිරීම උදෙසාත්, ලෝක බිඟු දිනය මැයි 20 ලෙස නම් කොට තිබේ. නවීන මී මැසි පාලන ක්‍රමය සඳහා මූලිකවූ සහ පරාගණය සඳහා බිඟුන්ගේ වැදගත්කම පිළිබඳව ලෝකය දැනුවත් කල ‘ඇන්ටන් ජැන්සාට’ ගරු කිරීමක් ලෙස මැයි 20 දිනට යෙදෙන ඔහුගේ උපන්දිනය නිමිත්තෙන් ලෝක බිඟු දිනය එදිනට යොදා ඇත. 2021 වර්ෂය සඳහා ලෝක බිඟු දිනයෙහි තේමාව වන්නෙ “bee engaged: build back better for bees” යන්නයි. 

මී මැස්සා ලොව වැදගත්ම සත්ත්වයා වන්නෙ ඇයි? 

බොහෝ දෙනෙකුට මී මැස්සා යනු, ඉතා ප්‍රණීතවූ මී පැණි නිපදවීම සඳහාම වැදගත්වන සත්වයෙකු වේ. ගෝලීය කෘෂිකාර්මාන්තයේ 70%ක් පමණම රඳා පවතින්නේ මී මැස්සන් නිසා බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා පරාගණය අත්‍යවශ්‍යම කරුණකි. සපුෂ්ප ශාකයන්හි පරාගණය සිදු කරනු ලබන්නෙ මී මැස්සන් විසිනි. මී මැසි ගහණය අඩු වීමත් සමඟම ඊට අනුලෝමව කෘෂි බෝග හා ශාකමය ආහාර නිශ්පාදනයද අඩු වී යයි. තවද සපුෂ්ප ශාක ප්‍රජාවන්ගේ ප්‍රජනනයටත්, ජාන විචලනයත්, පාරිසරික සම්බන්ධතා ඉහළ නැංවීමටත් මී මැස්සන් උපකාරි වේ. 

 මී මැසි ජනපදය. ඡායාරූපය: Wikimedia

තර්ජනයට ලක් වූ මී මැස්සන්

කෘෂිකාර්මික වගා බිම් සඳහා අසීමිත ලෙස භාවිතා කරනු ලබන කෘමිනාශක, මී මැස්සන් විනාශ වී යාමට ඇති ප්‍රබලම හේතුවයි. වනාන්තර විනාශය හේතුවෙන් මී මැස්සන් සඳහා ප්‍රමාණවත් මල් නොමැති වීම හා මී වද බැඳීම සඳහා සුදුසු ස්ථාන අවම වීම, මී මැසි ගහණය සීඝ්‍ර ලෙස අඩුවී යාමට ප්‍රධාන ලෙස බලපායි.

මී මැසි ගහණය නැවත වර්ධනය කර ගැනීම සඳහා ගෙවතු ආශ්‍රිතව මල් සහිත ගස් සිටු වීම, වනාන්තර විනාශය අවම කිරීම, කෘමී නාශක භාවිතය අඩු කිරීම වැඩි ක්‍රියා මාර්ග පිළිපැදීම අත්‍යවශය වේ. 

එසේ නොමැති වූවොත් ජේෂ්ඨ ගණිතඥයකුවන ඇල්බට් අයින්ස්ටයින් මහතා ප්‍රකාශ කල පරිදි මී මැස්සන් පෘථිවියෙන් අතුරුදහන් වුවහොත් ඉක්බිති මිනිසාට ජීවත් වීමට ඉතිරිවන්නේ වසර හතරක් පමණක් වේ.