තරුෂි පිටිගල විසිනි.

වන සත්ත්ව හා මිනිස් ගැටුම යම් තාක් දුරකට පාලනය කළ හැකි ගැටළුවක් මිස සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කළ හැකි සංසිද්ධියක් නොවන බැවින් ඊට ගැලපෙන අයුරින් මෙම ගැටළුව කළමනාකරණය කළ යුතු බව ප්‍රකට විද්‍යාඥයන් ගණනාවක් ප්‍රකාශ කර සිටිති. ඒ අනුව ක්‍රමවත් පර්යේෂණයන් මත ලබා ගත් නිවැරදි දත්ත පදනම් කර ගනිමින් රජය, රාජ්‍ය  ආයතන, විශේෂඥයන් සහ මහජනතාව එක්ව කටයුතු කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ නොනවතින අරගලයක්ව පවතින වනජීවී හා මිනිස් ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විමර්ශනාත්මක වාර්තාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වනජීවි මිනිස් ගැටුම: ගැටළු විසඳුම් සහ කළමනාකරණය යන තේමාව යටතේ පැවැත්වූ හරිත සංවාදයේදී මෙම අදහස් ඉදිරිපත් කෙරිණි.

මෙම සංවාදය සඳහා සම්පත් දායකයන් වශයෙන් ජේෂ්ඨ සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාලිංග පද්මලාල්, ජේෂ්ඨ සත්ව විද්‍යාඥ ආචාර්ය ජිනී දෑල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රන්ජන් මාරසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍ය‍යන ආයතනයේ පර්යේෂක/ ප්‍රධානි (කෘෂි ආර්ථික ප්‍රතිපත්ති) ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව මහතා සහභාගි විය. 

දශක ගණනාවක් තිස්සේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වන අලි, මිනිස් ගැටුම ප්‍රධාන කොටගත් වන සත්ත්ව මිනිස් ගැටුම හේතුවෙන්, එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන මිනිසා හා වනජීවීන් මුහුණ පාමින් සිටින ගැටළු සහ එම තත්ත්වය සඳහා සුදුසු විසඳුම් පිළිබඳ විද්වත් මණ්ඩලය විසින් අදහස් රැසක් ඉදිරිපත් කරන ලදී.

ජීවීන් විශේෂ දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් අතර ආහාර, වාසස්ථාන, ජලය සහ භූමිය වැනි ජීව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක කාරණා කෙරෙහි ඇතිවන ඍණාත්මක අන්තර් ක්‍රියා හේතුවෙන් මෙම ඝට්ඨනය ඇතිවන බවත් එය දීර්ඝ කාලීනව වර්ධනය හා ව්‍යාප්ත වීම වන සත්ත්ව හා මිනිස් ගැටුම් නිර්මාණය වීමට හේතු වන බවත් ආචාර්ය පද්මලාල් පැවසීය. 

“සංරක්ෂණය සෑම විටම මානව කේන්ද්‍රීයවයි සිදුවන්නේ. කිසියම් සත්වයකු සම්බන්ධව ඔවුන්ගේ චර්යා රටාවන් කොතෙක් දුරට මිනිසුන් ලෙස අප දරා සිටිනවාද යන්න මත සහ එම දරා සිටීමේ හැකියාව මත මෙම ගැටළුවේ ස්වභාවය තීරණය වෙනවා” යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රන්ජන් මාරසිංහ මහතා අවධාරණය කළේය. මේ හේතුවෙන් ඕනෑම සත්වයකු අනාගතයේදී වන සත්ත්ව මිනිස් ගැටුමේ ක්‍රියාකාරී පාර්ශ්වයක් ලෙස සැලකීමට ඉඩ ඇති බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

ශ්‍රී ලංකාවේ පළාත් නමයෙන් පළාත් අටක් තුළ, දිස්ත්‍රික්ක 19ක් පුරා ව්‍යාප්තව පවතින මෙම වන සත්ත්ව හා මිනිස් ගැටුම දේශගුණික කලාපයන් අනුවත් සත්ත්ව විශේෂයන්ගේ චර්යා රටාවන් අනුවත්, විශේෂ අනුවත් වෙනස් වන බව විද්වත් මණ්ඩලය විසින් සාකච්ඡාව අතරතුර පැවසීය. 

ප්‍රධාන ලෙසම ගැටළුව ඇත්තේ වන අලි හා මිනිසා අතර වුවත් මීට අමතරව ශ්‍රී ලංකා කොටියා, වඳුරා, රිලවා, වල් ඌරා, ඉත්තෑවා, කිඹුලා, දඬුලේනා සහ මොනරා වැනි සත්ත්ව විශේෂත්, වනජීවී හා මිනිස් ගැටුමේ ක්‍රියාකාරී සත්ත්ව විශේෂ වී ඇති බව මාරසිංහ මහතා පැවසීය. 

“පසු ගිය දශකය ගත් කල වැඩි පුරම අලි මරණ වාර්තා වූයේ 2019 වර්ෂයේ දීයි. එම සංඛ්‍යාව 407ක් වෙනවා. එම වර්ෂයේම හානි වූ මිනිස් ජිවිත සංඛ්‍යාව 122ක්. 2020 වර්ෂයේදී අලි 322ක් සහ මිනිසුන් 113ක් මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රශ්නයේ දරුණුකම වටහා ගන්නට මේ දත්ත හොඳටම ප්‍රමාණවත්” යැයි ආචාර්යය පද්මලාල් පැවසිය. 

අලි මිනිස් ගැටුම වැලැක්වීම සඳහා විසඳුම් ලෙස සහජීවනය වැනි විවිධ මත, විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කලත් අලි මිනිස් ගැටුම වැලැක්වීම සඳහා ඇති එකම උපාය මාර්ගය ඒකලනය, බහිශ්කරණය සහ වෙන්ව වාසය බව ආචාර්ය පද්මලාල් මහතා විසින් වැඩිදුරටත් පැවසුවේය.

කලාප අනුව වඳුරන් හා මිනිසුන් අතර ඇති ගැටළුවේ ස්වභාවය වෙනස් බවත් තෙත් කලාපය තුල වඳුරන් හා මිනිසුන් අතර සිදුවන ගැටුමට බොහෝ ලෙස බලපාන්නේ ශ්‍රී ලංකා කළු වඳුරා වුවත් වියළි කලාපයට යන විට රිලවුන් සහ අළු වඳුරන් මෙම ගැටළුකාරී තත්ත්වයට දායක වෙන බවත් රිලවුන් හා වඳුරන් විසින්  සිදු කළ සපා කෑම්, නිවාස හානි  සහ වගා හානි පමණක් නොව නිවාස තුළට වැදි නිවැසියන්ගේ ආහාර රැගෙන යන බවට ද වාර්තා වී ඇති බව ආචාර්ය ජිනී දෑල මහත්මිය ප්‍රකාශ කළාය.

“වඳුරන් හා මිනිසුන් අතර පවතින මෙම ගැටුම කළමනාකරණයට අවශ්‍ය ප්‍රතිපත්තීන් අඩංගු වාර්තාවක් විද්‍යාඥයන් පිරිසක් විසින් සකස් කොට වගකිවයුතු ස්ථාන වෙත භාර දී තිබෙනවා. නමුත් එය තවමත් ක්‍රියාත්මක නොවී පැවතීම කණගාටුවට කරුණක්. මේ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස අපගේ නිරීක්ෂණය වුයේ විටින් විට සිදුවූ ආණ්ඩු මාරු සහ මෙම විෂයට අදාල ඇමති තනතුර නිරන්තරයෙන් මාරු වීමයි. නිරන්තර තනතුරු මාරු වීම හේතුවෙන් ඔවුන් හට මෙම ගැටළු සම්බන්ධ වාර්තා අධ්‍යනය කොට ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති බව පෙනෙන්නට තිබෙනවා” යැයි ඈ තවදුරටත් පැවසුවාය.

පාරම්පරිකව පැවත එන අවිධිමත් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් විශේෂයෙන්ම වගාවන් සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීමත් පැහැදිලි නිර්ණායකයන් නොමැතිව වගා කටයුතු සඳහා ඉඩම් පැවරීමත් මෙම ගැටළු උග්‍ර වීමට ප්‍රධාන හේතුවක්  බව ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව පැවසීය.

“ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 142 ක ගොවි ජනතාව වනජීවි හා මිනිස් ගැටුම හේතුවෙන් පීඩා විඳිනවා. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනයා මෙම ගැටළුව හේතුවෙන් ඉතා දැඩි ලෙස කායික, මානසික හා සමාජීය අපහසුතාවන්ට පත්ව සිටිනවා. මේ හේතුවෙන් වන අලි – මිනිස් ගැටුමට ලක්වන ගැමි ජනතාව සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම ආශ්‍රිත අධ්‍යයන කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා” යැයි ද  ආචාර්ය තිබ්බොටුවාව පැවසීය. 

ශ්‍රී ලංකාව තුළ මෙම ගැටළුව සම්බන්ධව ඇති විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණවත් නොවන බවත් මේ සම්බන්ධ ගැටළු කළමනාකරණය සඳහා දිනෙන් දින යාවත්කාලීන වන දත්ත අවශ්‍ය බවත් ඒ තුළින් මෙම ගැටළුව සඳහා කෙටි කාලීන විසඳුම් වලට වඩා දිර්ඝ කාලීන, සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල හැකි බවත් මාරසිංහ මහතාගේ අදහසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකමය, සමාජීය සහ සංස්කෘතිකමය රාමු තුල පරිසර සංරක්ෂණ සහ කළමනාකරණ කටයුතු සිදුකිරීම ඉතා අපහසු බව ඔහු විසින් වැඩි දුරටත් පැවසුවේය. මීට අමතරව දේශපාලඥයන්ගේ සහ පරිසර ක්‍රියාකාරීන්ගේ සමහර ආන්තික මතවාද මෙවැනි ගැටළු කළමනාකරණයේදී එක මතයක් ලෙස එකතැනට ගෙන ඒම අපහසු බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ඔහු විසින් තවදුටත් පැවසුවේය

මෙම හරිත සංවාදය සඳහා පර්යේෂකයන්, රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පරිසරවේදීන් සහ පරිසර ක්‍රියකාරීන් රැසක් සම්බන්ධ වූ අතර Facebook හරහා සජීවීව ප්‍රචාරණය කෙරිණි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථාන‌යේ “Stories from the Margins” වැඩසටහන හරහා මෙම සජීවී සංවාදය සංවිධානය කරන ලද අතර,  “Earth Journalism Network” හි සහ Internews හි සහ‌යෝගයෙන් ඉදිරිපත් කෙරේ. මීලඟ හරිත සංවාදය නොවැම්බර් මස තෙවැනි සතියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.