අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.
විද්‍යාවේ හා කාර්මික ක්ෂේත්රයේ උන්න්තියත් සමඟ දිනෙන් දින ලෝකය කොන්ක්‍රිට් පාරාදීසයක් බවට පත් වීම ආරම්භ වූයේ මිනිසා හා පරිසරය අතර ඇති සබඳතාව දිනෙන් දින දුරස් කරවමිනි. නමුත්, ස්වභාවික පරිසරයේ වටිනාකම කොතෙක්ද යන්න මිනිසාගේ සිත තුළ කා වැදීමට දිගු කාලයක් ගත වූයේ නැත. මන්දයත් මිනිසාගේ ජීවනාලිය වනුයේ ස්වභාවික පරිසරයයි. ශ්වසනය සඳහා අවැසි ඔක්සිජන් වායුව, දිවි සුරකින ජලය හා කුස නිවාලන ආහාර නැමැති මූලික අවශ්‍යතාවයන් ත්‍රිත්වයම අපට ලබා දෙන්නේ සොබා මාතාව විසිනි. එබැවින්, හරිත ගොඩනැගිලි කලාව කරළියට පැමිණියේ, මිනිසා හා පරිසරය අතර ඇති දුරස්ථභාවය අවම කිරීමේ ප්රයත්නයක් වශයෙනි.
හරිත ගොඩනැගිල්ලක් වනාහි හුදෙක් බිත්ති කොළ පැහැයෙන් වර්ණ කළ ගොඩනැගිල්ලක් නොවේ. ස්වභාවික පරිසරය හා සමඟ දැඩි සමීප බවකින් තැනෙන හරිත ගොඩනැගිලි පරිසර හිතකාමී මෙන්ම ආර්ථික වශයෙන් ද මිනිසා වෙත වාසි සලසයි. එම නිසාම හරිත ගොඩනැගිලි ඉදිකිරීම කලාවක් බවට පත් ව ඇති අතර ඒවා සඳහා විවිධ හරිත සහතික නිකුත් කරන ආයතන ද බිහිවී ඇත. ඒ අතරින්, ජනපදයේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (USGBC) විසින් ලබා දෙන LEED (Leadership in Energy and Environmental Design) , එක්සත් රාජධානියේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (BRE) විසින් ලබා දෙන BREEAM (Building Research Establishment Environmental Assessment Method) සහතික දෙකත් සිංගප්පූරුවේ Green Mark සහතිකයත් ලොව ප්‍රසිද්ධ ම හරිත සහතික වශයෙන් හැඳින්විය හැක. මෙම සහතක ලබා දිමේ ක්‍රියාවලිය නොමිලේ සිදු වන්නක් නොවන අතර එක් එක් ගොඩනැගිලි වර්ගයට (උදා: කාර්මික, වෙළඳ, රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල, නිවාස, ප්‍රතිසංස්කරණ කිරීම්, අභ්‍යන්තර නිර්මාණය) අදාල විවිධ ලකුණු පටිපාටීන් මඟින් ගොඩනැගිල්ලේ ඇති තිරසර බව හා හරිත සංකල්ප සඳහා ලකුණු පිරිනමයි. එම ලකුණු සංඛ්‍යා හා සහතික මට්ටම් එක් එක් හරිත සහතික ක්‍රමය අනුව වෙනස් වේ. ( වර්තමානය සැලකූ විට : LEED/Green Mark – Platinum, Gold, Silver, Certified, BREEAM – Outstanding, Very Good, Good, Pass)
මෙම සියලුම සංකල්පයන් විවිධාකාර ලෙසින් ඉදිරිපත් කර තිබුණ ද සියල්ලම අවසානයේ කැටි වන්නේ ප්‍රධාන තේමා කිහිපයක් වෙතටයි. එහි පළමුවැන්න වන්නේ ඉදිකිරීම සඳහා තෝරාගන්නා ලද භූමියේ තිරසාර බවයි. එම තේමාවට අංග කිහිපයක්ම අඩංගු වන අතර ස්වභාවික වාසස්ථාන සුරැකීම, විවිධ වෘක්ෂ වර්ග සිටුවීම, හරිත වහල, වැසි ජලය ගලා යාම කලමණාකරනය කිරීම, වහලයේ හා භූමියේ සූර්ය පරාවර්තන දර්ශක (SRI) නියමිත අගයන් හි පවත්වාගෙන යාම ඒ අතර වේ. එමෙන්ම LEED හි මෙම තේමාවේම ඇති BREEAM හි වෙනම තේමාවක් ලෙස ඉදිරිපත් කර ඇති “ගමනාගමනය”, ඉන්ධන කාර්යක්ෂම වාහන, විදුලි වාහන, පොදු ප්‍රවාහන සේවා, බයිසිකල් භාවිතට බෙදාගැනීමෙන් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම මඟින් මිනිසාට ආර්ථික වශයෙන් වාසි සැලසෙන අතර පරිසර දූෂණය ද අවම වේ. තවද කාර්යක්ෂම ජල උපකරණ පරිහරණය, වැසි ජලය ගබඩා කිරීම, අපජලය පිරිපහදුව වැනි අංශ වලින් කාර්යක්ෂමව ජලය පරිහරණය කිරීමට අපව යොමු කිරීමට මෙම හරිත සහතික නිකුත් කරන ආයතනයන් ක්‍රියා කරයි. එපමණක් නොව බලශක්තිය කාර්යක්ෂමව භාවිත කිරීම, සූර්ය පැනල භාවිතය, කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතට හා වාතාශ්‍ර සැපයුම් ලබා ගැනීම පිළිබඳව ද අප යොමු කරනු ලබයි. මීට අමතරව තිරසර ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයටත් හිතකර තීන්ත වර්ග විශේෂයෙන් අඩු වාෂ්පශීලී කාබනික සංයුක්ත (VOC) ද්‍රව්‍ය භාවිත කිරීමටත්, සෞඛ්‍යය සම්පන්න වාතාශ්‍රයක් පවත්වා ගැනීමටත් මම ආයතන සියල්ලම ලකුණු පටිපාටිය මඟින් උපදෙස් ලබා දේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම LEED හරිත සහතික ලත් ගොඩනැගිල්ල වන්නේ 2000 වසරේ, එවකට තිබූ මාර්ගෝපදේශ ග්රන්ථයට අනුව ලෝකඩ සහතිකයක් (Bronze) ලබා ගත් කණ්ඩලම හෝටලයයි. එමෙන්ම මේ වන විට ලංකාවේ LEED සහතික ලාභී ගොඩනැගිලි 30 ක් පමණ ඇති අතර ඒ අතර ඉහළම ලකුණු ලැබූ (92) ගොඩනැගිල්ල වන්නේ මඩකලපුවේ බ්‍රැන්ඩික්ස් ආයතනයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද පළමු BREEAM සහතික ලාභී ගොඩනැගිල්ල වන්නේ මුල්ලේරියාවේ “ග්‍රීන් හොරයිසන්” තේ කර්මාන්තශාලාවයි.
මෙම ගෝලීය හරිත සංකල්ප සමඟ අප රට ද හරිතමය යුගයක් කරා යාමේ ප්රයත්නයක් දරමින් 2009 වසරේදී ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) බිහිවිය. එමඟින් අංශ තුනක් යටතේ හරිතමය යුගයකට මඟ පාදනු ලබයි. හරිත ගොඩනැගිලි සඳහා සහතික නිකුත් කිරීම, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා හරිත ප්‍රමිතිකරණ සහතික නිකුත් කිරීම හා හරිතකරණය සම්බන්ධ වෘත්තීමය පුහුණු ලබා දීම ඒ අතර වේ. 2021 මාර්තු මාසය වන විට, ගොඩනැගිලි සඳහා හරිත සහතික 61 ක්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා හරිත ප්‍රමිතිකරණ සහතික 30 ක් මෙන්ම 1000 කට වැඩි සංඛ්‍යාවකට වෘත්තීය පුහුණුව ලබා දීමටත් මෙම ආයතනය කටයුතු කර ඇත.
එමෙන්ම “නීල හරිත ශ්‍රී ලංකාවක්” යන තේමාව දරමින්, නාගරික සංවර්ධනය අධිකාරිය යටතේ බිහිවූ නීල හරිත ශ්‍රේණිගත කිරීම වර්තමානය වන විට රජය මඟින් සිදුකරන සෑම ඉදිකිරීමකට අනිවාර්ය වී ඇත. ශ්‍රී ලංකාවේ නිකුත් කර ඇති මෙම හරිත සහතික මාර්ගෝපදේශයන් ද මින් පෙර විස්තර කළ තේමාවන් ඔස්සේම ගමන් කරයි.
හරිත සංකල්ප වර්ධනය තුළින් අනාගතයේ කොන්ක්‍රීට් වනාන්තර බිහිවීමේ ප්‍රවණතාව අවම වනු ඇත.
Comments are closed for this post.