අයෝධ්‍යා කිරිඇල්ල විසිනි
අවසාන දිනයේ ඇය හමුවීමට පැම්ණෙන බව තාරක දන්වා තිබිණි. එදිනද පියුමි සිය දේශන සඳහා සහභාගි නොවූ අතර ඔවුන් හමුවීම සඳහා යොදාගෙන තිබුණේ විහාරමහාදේවී උද්‍යානයයි.
“පියුමි ඇයි කතා නැත්තෙ…?”
“ඔයා යනවනෙ තාරක…ඒ නිසා…”
“ඔව් මම යනවා යන්න වෙනවා… ඒත් පොරොන්දු වෙන්නම් මං ආපහු එනවා… “
“ඒක නම් සතුටු වෙන්න දෙයක්…”
පියුමිගේ මුහුණේ සිහින් සිනාවක් නැඟුණි.
“ම්… ඒත් එතකම් මේ මෙහෙයුම ඔයා ඉස්සරහට කරගෙන යන්න ඕනෙ… “
“ඒ කොහොමද තාරක මං තනියෙන් කරන්නෙ…?”
“මං කියලා දෙන්නම්… බය වෙන්න එපා… ඔයාට තියෙන්නෙ මං කළා වගෙම මේ මාලෙ පාවිච්චි කරන එක… “
“එතකොට…”
“එතකොට… තමන් කරන දේවල් එක්ක… තමන්ගෙ හිතේ තියෙන ලොකුම බය… තමන්ට වටිනම දේ අන්න ඒවා එක එකට සම්බන්ධ වෙලා හීනයක් මැවෙනවා… ඇත්තටම හීනයක් නෙමෙයි එයාට දැනෙනවා ඒක ඇත්තටම වෙන දෙයක් කියලා…”
“එතකොට මං ඒ මාලෙ අල්ලද්දිත් දැනෙයිනෙ…”
“නෑ පියුමි… ඒ එෆෙක්ට් එක ඕෆ් කරලා තියන්න පුළුවන්… අවශ්‍ය කෙනාට දෙද්දි ඔන් කරන්න… මෙන්න මෙතන…”
ඔහු මාලය ගෙන ඇයට එහි කුඩා ස්විචයක් වැනි කොටසක් පෙන්වීය.
“මට තේරෙනවා ඒත්… මේ මාලෙ දීලා වැඩක් නැති කෙනෙක්… ඒ වගෙ කෙනෙක්ට මොකද කරන්නෙ අපි…?”
“එහෙම වෙන්නෙ නෑ… ඕවට තණ්හා නැති අය බොහොම අඩුයි… විශේෂයෙන් සල්ලි පස්සෙ යන අය අතරෙ…”
“මට තේරුම් ගන්න පුළුවන් තාරක…”
“ඉතින් ළමයො මං ආපහු එනකම් මේ මෙහෙයුම ඔයාගෙ… ඔයාට ඕනමනම් පුළුවන් මං ගැන ඇත්ත කියලා ඔයාගෙ එක ළඟ යාළුවෙක් මේ වැඩේට තියාගන්න එක… මං හිතන්නෙ ඒකට හොඳම කෙනා උදාර…”
“ම්… මං උදාරට කියන්නම්… ඒත් ඔයා ආයෙ කවද්ද එන්නෙ… ?”
“ඒක නම් කියන්න බෑ පියුමි… අවුරුද්දකින්… අවුරුදු පහකින්… දහයකින් වෙන්නත් පුළුවන්… හැබැයි එතකොට මම එන්නෙ ඔයාලගෙ ලෝකෙ නවතින්නම බලාගෙන”
“ඒක නම් නියමයි… ඒත් ඔයාව මට ගොඩක් මතක් වෙයි තාරක…”
“මටත් එහෙම තමයි… ඉතින් ළමයො අද රෑට අපේ යානෙ එනවා මාව එක්ක යන්න… “
“එතකොට ඒක රේඩාර් වලට අහු වෙන්නෙ නැද්ද තාරක?”
“නෑ… හොයන්න බෑ… ගොඩාක් ඈතට ගියාම නම් තරුවක් වගේ පෙනේවි…”
“කොච්චර වෙලා යනවද ඒ ලෝකෙට යන්න…?”
“අපේ වේගෙ හැටියට ඔයාලගෙ කාලෙන් මාස තුනක් වගේ යාවි…”
“පරිස්සමෙන් තාරක…”
“ඔයත් පරිස්සමෙන් ඉන්න… භයානක දේවල් කරන්න යන්න එපා… වැටෙන්න යන්න එපා… ඔය මිනිස්සු එක්ක කටගහගෙන යන්න එපා… හිමින් සීරුවෙ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න…”
“හරි තාරක මං පොරොන්දු වෙනවා…”
දෙදෙනාගේ සමුගැන්ම එලෙසින් සිදුවිය.
කිසිදු තරුවක් නැති අමාවක රැයේ නිවසෙන් පිටතට පැමිණි පියුමි කළුවර අහස දෙස බලාගෙන සිටියාය. එක්වරම එක් කුඩා තාරුකාවක එළියක් දැක්වෙනු ඇගේ නෙතට පෙනුණි.
එම තාරකාව, තාරකද රැගෙන අහසේ ඈතින් ඈතට ඇදෙන යානය ලෙස සිතමින් බලාපොරොත්තු කෝටියක් සිතෙහි දරාගෙන සිටි පියුමි, සිය දෑසේ වූ කඳුලු පිසදමාගෙන තරුවට අත වැනුවාය.
නිමි.
Comments are closed for this post.