• ලෝකයේ විශාලතම බහාලුම් නැව් මාර්ගය වන MSC විසින්, ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වන නිල් තල්මසුන්ගේ ප්‍රධාන ආහාර සහ සාත්තු භූමියක් වටා තම නැව් ගමන් කරවන බවට කරන ලද නිවේදනයක් සංරක්ෂණවේදීන් විසින් පිළිගෙන ඇත.
  • මෙරට මුහුදේ නිතර ගැවසෙන විශාල තල්මසුන්ගේ මරණයට ප්‍රධානතම හේතුව වන්නේ නැව් ප්‍රහාරයන් වන අතර, ඊට තරමක් දුරට ස්පර්ම් තල්මසුන් සහ බ්‍රයිඩ්ගේ තල්මසුන්ද ඇතුළත් වේ.
  • සමුද්‍ර සංරක්‍ෂක ආශා ද වොස් පවසන්නේ අනෙකුත් නැව් මාර්ග, MSC හි මග පෙන්වීම අනුගමනය කළ යුතු බවත්, නැව් මංතීරුව ස්ථිර කිරීමට යෝජනා කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බවත්ය.
  • නැව් ප්‍රහාරවලින් තල්මසුන් මිය යාම්, වාර්තා වූවාට වඩා 10 ගුණයකින් යළි වැඩි විය හැකි බවත්, වත්මන් සුළං තත්ත්වයන් හමුවේ මළකඳන් මුහුදට සෝදා යාමට වැඩි ඉඩ ඇති බවත්, එබැවින් ඒවා හඳුනා ගැනීමට ඇති ඉඩකඩ අඩු බවත් ඇය පවසන්නීය.

2012 මාර්තු මාසයේදී, කන්ටේනර් නෞකාවක් ශ්‍රී ලංකාවේ කොළඹ වරායට යාත්‍රා කළ අතර, එහි දුන්න හරහා නිල් තල්මසෙකුගේ සිරුරක් හසු විය. සති දෙකකටත් අඩු කාලයකට පසු, තවත් නිල් තල්මස් මළ සිරුරක් රටේ දකුණු වෙරළට ඔබ්බෙන් පාවෙමින් තිබියදී සොයා ගන්නා ලදී, එහි වලිගය නැව් ප්‍රහාරයක් බවට තහවුරු විය හැකි පරිදි කැපී තිබිණි.

දකුණු ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජලය නිල් තල්මසුන් (Balaenoptera musculus) සඳහා පොහොසත් පෝෂණයක් සපයන සාත්තු ප්‍රදේශයකි. නමුත් ජෛව විවිධත්ව අධ්‍යාපන සහ පර්යේෂණ (BEAR) සංරක්ෂණ සංවිධානයේ රනිල් නානායක්කාර පවසන පරිදි, නව නැව් මාර්ග හමුවේ ඒවා “ගැටුම් උණුසුම් ස්ථාන” බවට පත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, එය වෙනස් වීමට ආසන්න විය හැකිය. ලොව විශාලතම බහාලුම් ප්‍රවාහකයා වන මධ්‍යධරණී නැව් සමාගම විසින් සැප්තැම්බර් මාසයේදී කරන ලද නිවේදනයකට ස්තූතිවන්ත වන්නට, ඔවුන් එම ප්‍රදේශය ඉවත් කර වේගය අඩු කරන ලෙස තම නැව්වලට දැනුම් දීමට පටන් ගෙන තිබේ. නව ප්‍රදේශය නාවික සැතපුම් 15ක් (කිලෝමීටර් 28ක්) තවත් දකුණට දිවෙන අතර, යාත්‍රා පැයට සැතපුම් 10 (පැයට කිලෝමීටර 18.5) වේගයකින් මන්දගාමී වනු ඇතැයි මධ්‍යධරණී නැව් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තල්මසෙකු තල්මසුන් නරඹන බෝට්ටුවකට ආසන්නව පිහිනන අයුරු.ඡායාරූපය රනිල් නානායක්කාර/මොන්ගාබේ 

නාවික සැතපුම් 15ක අගය විශේෂඥයන් කලින් නිර්දේශ කර ඇත. 2015 අධ්‍යයනයකින් පෙන්නුම් කළේ මෙම හැරවුම් මාර්ගය නිල් තල්මසුන් නැව්වලට ගොදුරු වීමේ අවදානම 95% කින් අඩු කරන බවයි.

නානායක්කාර පවසන පරිදි, 2017 දී ඔහුගේම අධ්‍යයනයකින් පෙන්නුම් කළේ මෙරට මුහුදේ වාර්තා වූ විශාලතම තල්මස් මරණයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නැව් ප්‍රහාරවලින් සිදුවන බවයි. අධ්‍යයනයෙන් 2010 සහ 2014 අතර එවැනි මරණ 14ක් ලේඛනගත කර ඇති අතර, වෙරළ තීරයේ ගසාගෙන ගිය තල්මස් මළකුණු 30 කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කිරීමෙන් පසුව එය සකසා ඇත. ඒ අතර නිල් තල්මස් සිරුරු 9ක්, ස්පර්ම් තල්මස් සිරුරු 2ක් (Physeter macrocephalus), බ්‍රිඩ්ස් තල්මහ සිරුරු 1ක් (Balaenoptera brydei), කවියර් බීක්  තල්මහ සිරුරු 1ක් (Ziphius cavirostris) සහ හඳුනා නොගත් බැලින් තල්මස් සිරුරු 2ක් විය.

ඔවුන් 14 දෙනාම බාහිර හෝ අභ්‍යන්තර තුවාල සහිතව ගැටුමට ගොදුරු වූවන් ලෙස තක්සේරු කළ බව නානායක්කාර මොන්ගාබේ වෙත පැවසීය.

නිල් තල්මසෙක්. ඡායාරූපය: ඕෂන්වෙල්/මොන්ගාබේ

 ස්ථිර නැව් මංතීරු වෙනස් කිරීම සඳහා ලංසුව

දශකයකට වැඩි කාලයක් දකුණු ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ නිල් තල්මසුන් පිළිබඳ අධ්‍යයනය, ඕෂන්ස්වෙල් සංරක්ෂණ හා පර්යේෂණ සංවිධානයේ සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් විසින් සිදුකල අතර, නැව් මංතීරුව ස්ථිරවම මාරු කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ඇය ක්‍රියාකොට ඇත. එබැවින් මධ්‍යධරණී නැව් සමාගම හි නිවේදනය නිවැරදි දිශාවේ පියවරක් සලකුණු කරන බවද ඇය පැවසුවාය.

“මධ්‍යධරණී නැව් සමාගම නැව්ගත කිරීමේ මංතීරුව ස්වේච්ඡාවෙන් මාරු කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. නමුත් රජයට ස්ථිර ලෙස ගැලපීම අවශ්‍යයි” ඩි වොස් මොන්ගාබේ වෙත පැවසුවේ, අනෙකුත් නැව් මාර්ග ද මධ්‍යධරණී නැව් සමාගමේහි නායකත්වය අනුගමනය කළ යුතු බව අඟවමිනි.

ඩි වොස් ජාත්‍යන්තර තල්මස් දඩයම් කිරීමේ කොමිසමට ද මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. “2016 දී,ජාත්‍යන්තර තල්මස් දඩයම් කිරීමේ කොමිසමට විද්‍යාත්මක කමිටුව එකඟ වූයේ අධ්‍යයනවල ඒකාබද්ධ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් නැව් මංතීරු ගෙනයාම සඳහා ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයන්ට යෝජනා කොට සහාය ගතයුතු නමුත්, ශ්‍රී ලංකා රජය විසින් එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවයි”

මුහුදු මංතීරුව නැවත සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාව තවමත් විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය තහවුරු කළේය.

දැනට මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකා රජයට, තල්මසුන් නැරඹිය හැකි මිරිස්ස වරායට නාවික සැතපුම් 5ක් (කිලෝමීටර 9ක්) ඔබ්බෙන් මුහුදු මංතීරුව තබා ගැනීම ආර්ථික තීරණයකි.

දකුණු ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ කාර්යබහුල නැව් මාර්ගයක් අසල තල්මසෙකු කිමිදෙමින් පිහිනන අයුරු. ඡායාරූපය:ඕෂන්වෙල්/මොන්ගාබේ 

සමුද්‍රීය විශේෂඥ අයේෂ් රණවක පැවසුවේ නැව්, හැරවුම් මාර්ගයක යැවීමෙන් ක්ෂණික ආර්ථික බලපෑමක් ඇති වන බවයි. නැව්වලට වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුවීමේ අපේක්ෂාව නිසා ඉන්ධන පිරවීම සහ අනෙකුත් සේවාවන් සඳහා ශ්‍රී ලංකාව තුළ නැව් තටාකයට පැමිණීමට ඇති ඉඩකඩ අඩු වනු ඇතැයි ඔහු මොන්ගාබේ වෙත පැවසීය. හම්බන්තොට වැනි වරායවලට අහිමි වන ආදායම මිරිස්සේ තල්මසුන් නැරඹීමේ කර්මාන්තයේ වර්ධනයෙන් වන්දි ගෙවිය නොහැකි බව රණවක මහතා පැවසීය.

තල්මසුන් සිටීමට ඉඩ ඇති ප්‍රදේශ සමුද්‍ර ප්‍රස්ථාරවල සලකුණු කිරීම වැනි නැව් ප්‍රහාර වැළැක්වීමේ වෙනත් ක්‍රම ඇති බවත්, එමඟින් කාර්ය මණ්ඩලයට වේගය අඩු කිරීමට කාලය ලබා දෙන බවත් ඔහු පැවසීය. තල්මසුන් නැව්වලින් ඈත් කර තැබීමට ධ්වනි නිරෝධායන උපකරණ භාවිතා කරන ලෙස ද රණවක යෝජනා කළේ ඔවුන් වෙනත් රටවල භාවිතා කරන ආකාරයද සටහන් කරමිනි.

2012 මාර්තු මාසයේදී කොළඹ වරායේ දී CMA CGM Quartz කන්ටේනර් නෞකාවේ දුන්නෙහි ගැටී නිල් තල්මසෙකු මිය ගොස් ඇත. ඡායාරූපය: කරුණාසුන්දර/ මොන්ගාබේ 

‘නිරීක්ෂණයට වඩා 10 ගුණයකින් වැඩි’

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ලෙස ලේඛනගත කරන ලද නැව් ප්‍රහාරය 1889 දී දිවයිනේ වයඹදිග වෙරළ තීරයේ මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළට ගසාගෙන ආ ස්පර්ම් තල්මසෙකු වේ. නමුත් එය, 2004 දී කොළඹ වරායෙහි බහාලුම් නෞකාවක් නැංගුරම් ලෑමේදී සිදුවූ බ්‍රයිඩ්ගේ තල්මසකුගේ මරණය හමුවේ අළුත් කරමින්, එම විශේෂිත තර්ජනය පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කල බව නානායක්කාර පැවසීය.

තල්මසුන්, යාත්‍රා සමඟ ගැටීම් පිළිබඳ සවිස්තර වාර්තා ලබා ගැනීම හේතු කිහිපයක් නිසා දුෂ්කර ය. ඔවුන්ගේ නැව තල්මසෙකුගේ ගැටෙන විට කාර්ය මණ්ඩලය බොහෝ විට නොදැන සිටින අතර, ඔවුන් බෙහෝ විට එය වාර්තා නොකරයි. ශ්‍රී ලංකා මුහුදේ සිටින තල්මසුන් සාමාන්‍යයෙන් කෙටි, නොගැඹුරු කිමිදුම් සිදු කරන අතර සාපේක්ෂ වශයෙන් ඉහළ ප්‍රතිශතයක් පෝෂණය කිරීම, සමාජගත වීම සහ මතුපිට විවේක ගැනීම සඳහා කාලය ගත කිරීම, නැව් ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානම වැඩි කර ඇතැයි, නානායක්කාර පැවසීය.

තල්මසුන් බහුලව ගැවසෙන ප්‍රදේශ වළක්වා ගැනීම සඳහා මධ්‍යධරණී නැව් සමාගම විසින් සිය නැව්වලට අණ කර ඇති නාවික සැතපුම් 15 (කිලෝමීටර් 28) හැරවුම් මාර්ගය. ඡායාරූපය: මධ්‍යධරණී නැව් සමාගම/මොන්ගාබේ 

ඩි වොස් පැවසුවේ තල්මසුන් මිය යාමේ සැබෑ පරිමාණය ලේඛනගත කර ඇති ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බවයි.

“බැලීන් තල්මසුන්ගේ යාත්‍රා ප්‍රහාර මරණ සංඛ්‍යාව, නිරීක්ෂණයට වඩා 10 ගුණයකින් වැඩි විය හැකිය. මන්ද බොහෝ සතුන් හඳුනා නොගෙන හෝ ලේඛනගත නොකර මුහුදේ ගිලී යනු ඇතැයි අපේක්ෂා කෙරේ” ඇය පැවසුවාය. “වසරේ වැඩි කාලයක් පෘෂ්ඨීය ධාරා සහ මුහුදු සුළං, දකුණු ශ්‍රී ලංකාවෙන් ඔබ්බට, පාවෙන මළකුණු රැගෙන යාමට ඉඩ ඇත. මෙය බොහෝ මළකඳන් හඳුනා නොගැනීමට විශාල ඉඩක්ඩක් ඉතිරි කරයි.

මුලාශ්‍ර 

Priyadarshana, T., Randage, S. M., Alling, A., Calderan, S., Gordon, J., Leaper, R., & Porter, L. (2016). Distribution patterns of blue whale (Balaenoptera musculus) and shipping off southern Sri Lanka. Regional Studies in Marine Science3, 181-188. doi:10.1016/j.rsma.2015.08.002

Nanayakkara, R. P., & Herath, H. M. (2017). Report on 14 large whales that died due to ship strikes off the coast of Sri Lanka, 2010-2014. Journal of Marine Biology2017, 1-7. doi:10.1155/2017/6235398

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද Shipping lane change could be sea change for Sri Lanka’s blue whales නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.