• පර්යේෂණයන් පෙන්වා දී ඇත්තේ කෘෂිකර්මාන්තය, නාගරීකරණය, වනාන්තර සහ අනෙකුත් පරිසර පද්ධති පිරිහීමට ලක් කරන මානව ක්‍රියාකාරකම් මගින් නොයෙක් විද වෛරස් විශේෂ, මිනිසුන් වෙත ලඟා වීමට ඉඩ ඇති බවය. මෙම ක්‍රියාවලිය ‘ස්පිල්ඕවර්’ ලෙස හැඳින්වේ.
  • මෙම විවරණයේදී වසංගත රෝග වැළැක්වීමේ මූලාශ්‍රයේ සම නිර්මාතෘවරුන්වන සෝනිලා කුක් සහ නයිජල් සයිසර් තර්ක කරන්නේ ‘මිනිසුන් සහ සතුන් අතර ඇති සමීප සම්බන්ධතා නිසා ඇති විය හැකි නව රෝග, පටන් ගන්නා ප්‍රභවයේදීම පැතිරීම වළක්වා ගන්නේ නම් එහි අවදානම අඩු බවයි’
  • තවද කුක් සහ සයිසර් පැවසූයේ, වසංගත රෝග ආරම්භවූ පසු ඒවා වැළැක්වීමට සටන් කිරීමට වඩා ඊට පෙර ප්‍රවේශම්ව කටයුතු කිරීම බෙහෙවින් වියදම් අඩු කරන බවයි. “අපට වනාන්තර ආරක්ෂා කිරීමට, වනජීවී වෙළඳාම අඩුකිරීමට හෝ නැවතීමට, ගොවිතැන් ක්‍රම වැඩිදියුණු කිරීමට සහ ‘ස්පිලෝවර්’ හඳුනා ගැනීමට, වසරකට ඩොලර් බිලියන 10ක් පමණ වියදම්වන නමුත්, වසංගතයක දැවැන්ත මානව හා ආර්ථිකමය පිරිවැය සමඟ සසඳන විට එය ඉතා කුඩා වියදමක්” බව ඔවුන් පවසයි.

මෙම ලිපිය විවරණයකි. ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ මිස ‘මොන්ගාබේ’ අදහස් නොවේ.

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සහ ජර්මනි චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ද, ලොව පුරා නායකයින් විස්සකට අධික පිරිසක් සමඟ වසංගත සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා නව ජාත්‍යන්තර ගිවිසුමක් ඉල්ලා තිබේ. මෙම යෝජනාව ගෝලීය නායකයින් විසින් ලෝක සෞඛ්‍ය සමුළුවේදී මාසයකට අඩු කාලයකදී සලකා බලනු ඇත.

මීළඟ රෝග පැතිරීම සඳහා වේගවත් හා වඩා හොඳ ප්‍රතිචාර දැක්වීමට අපගේ සෞඛ්‍ය පද්ධති සකස් කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධාරණය අතිශයින් වැදගත් ය. නමුත් මෙම පියවර මගින් නව රෝග ඇතිවීම නතර නොවන බව මහජන සෞඛ්‍ය විශේෂඥයින්ද පවසා ඇත. එක්සත් ජනපදය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු ඉහල සන්නද්ධ රටවල් පවා COVID-19 පැතිරීම මන්දගාමී කිරීමට ගත් උත්සාහයන් අසාර්ථකවූ ආකාරය අපි දැක්කෙමු.

නව රෝග ආරම්භ වීමට පෙර, මිනිසුන් සහ සතුන් සමීප සම්බන්ධතා ඇති කර ගන්නා ප්‍රභවයේදීම ඒවා පාලනය කිරීමෙන් රෝග කාරක වලට අප ගොදුරු වීමේ අවදානම අඩු කර ගත හැක. මෙම තර්කය අලුත් දෙයක් නොවේ. ජීව විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවූයේ අප, වන සතුන් සමඟ වැඩි වැඩියෙන් හා නොසැලකිලිමත් ලෙස ගැටීමෙන් කෝවිඩ්-19 වැනි වසංගතයක් ඇතිවිය හැකි බවයි. නමුත් දේශපාලනඥයින් එම අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇත.

ලාඕ පීඩීආර් හි ලුආන් ප්‍රබාං හි වෙළඳපොළක සජීවී උණ බම්බු මීයන් විකිණීමට ඇති ආකාරය. ඡායාරූපය: Rhett A. Butler/ Mongabay

කෝවිඩ්-19 මෙන්ම එච්.අයි.වී ඒඩ්ස්, H1N1, SARS, MERS වැනි නව රෝග සියල්ලටම එක් කරුණක් පොදුය. ඒවා වෛරස්වන අතර එය වෙනත් විශේෂයන්ගෙන් මිනිසුන් වෙත ප්‍රවේශ වී ඇත. එය ‘ස්පිලඕවර්’ ලෙස හැඳින්වේ. මෙම සංසිද්ධිය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ මිනිසුන් හෝ අපගේ ගෘහාශ්‍රිත සතුන්, වන සතුන් සමඟ වැඩි සම්බන්ධතාවයක් ඇති විටය.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කෘෂිකර්මාන්තය, නාගරීකරණය, වනාන්තර සහ අනෙකුත් පරිසර පද්ධති පිරිහීමට ලක් කරන වෙනත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ‘ස්පිලඕවර්’ සංසිද්ධියෙහි නව යුගයක් උදාවී ඇති බවය. නෛතික හා නීති විරෝධී වනජීවී වෙළඳාම බොහෝ විට මස් වෙළඳපොලවල් සමඟ එකතු වේ. එමෙන්ම පශු සම්පත් නිෂ්පාදනය සඳහා සතුන් හැසිරවීම මඟින්ද රෝග පැතිරීමට දැඩි ලෙස ඉඩ ඇත.

සොබාදහම විනාශ කිරීමෙන් අප, අපගේ ජීවිත පරදුවට තබන බවට පැහැදිලි සාක්ෂි තිබියදීත්, විනාශයන් දිගින්  දිගටම සිදු කෙරමින් පවතී. නවතම ගෝලීය වනාන්තර නිරීක්ෂණ විශ්ලේෂණයෙන් හෙළි වූයේ ප්‍රාථමික නිවර්තන වනාන්තර අඩුවීම 2019 සිට 2020 දක්වා කාලයෙහි 12%කින් ඉහළ ගොස් ඇති බවයි. ලෝකයේ නිවර්තන වනාන්තරවලින් 64%ක්ම මේවන විට විනාශ වී ගොස් හෝ පිරිහී ගොස්ඇත.

බෝර්නියෝ හි වන විනාශය. ඡායාරූපය: Rhett A. Butler/ Mongabay

වන ජීවීන් ඔවුන්ගේ නිත්‍ය වාසස්ථානයන් අහිමිව අවතැන්වීමෙන් ඇතිවන ජීවී සම්බන්ධතා වැඩි වීමත් සමඟ මෙම වෛරසයන් හට පහසුවෙන් මිනිසුන් වෙත ප්‍රවේශ විය හැකියි. පසුව ඒවා මිනිසාගෙන් මිනිසා දක්වා ව්‍යාප්තව, විකෘතීන් සකසා ගනිමින් කලාපීය වසංගත හෝ පූර්ණගෝලීය වසංගත ඇති කරයි.

නමුත් සුභාරංචියක් ද ඇත. අපට වනාන්තර ආරක්ෂා කිරීමට, වනජීවී වෙළඳාම අඩු කිරීමට, ගොවිතැන් ක්‍රම වැඩිදියුණු කිරීමට සහ වෛරස් රෝග හඳුනා ගැනීම සඳහාවන සෝදිසි කිරීම් පුළුල් කිරීමට, වසරකට ඩොලර් බිලියන 10ක පමණ මුදලක් අනුමත වේ. එය, වසංගතයක දැවැන්ත මානව හා ආර්ථික පිරිවැය සමඟ සසඳන විට ඉතා කුඩා අගයක් ගනී.

මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ වැසි වනාන්තර ආරක්ෂා කිරීම සිදුකරන අතරම, අවම ආයෝජනයෙන් ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සැලසුම් කරන ලද වැඩසටහන් මඟින් සතුන්ගෙන් රෝග 

බෝවීමේ අවදානම අවම කර ගත හැකිය. නිදසුනක් වශයෙන්, බෝර්නියෝහි වනාන්තර ප්‍රදේශයක වනාන්තර හානිය වැඩිවී තිබුණි. දරිද්‍රතාවය සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාගත නොහැකිවීම හේතුවෙන් ප්‍රාදේශීය ගම්වාසීන් වෛද්‍ය ගාස්තු ගෙවීම සඳහා නීති විරෝධී දැව කැපීම් වෙත යොමුවී ඇති බව සොයා ගන්නා ලදී. ලාභදායී හා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම මගින් එම වනාන්තර විනාශය අඩු විය.

ඉන්දුනීසියානු බෝර්නියෝ හි පහත්බිම් වැසි වනාන්තර. ඡායාරූපය: Rhett A. Butler/ Mongabay

නව ගෝලීය ගිවිසුමක් ඇති කිරීම සඳහා සාමාන්‍යයෙන් වසර ගණනාවක් මන්දගාමී සාකච්ඡා අවශ්‍ය වේ. අපට කාලය පිළිබඳ සුඛෝපභෝගී බවක් නැත. එබැවින්, ඊට සමාන්තරව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ජර්මනියහට මෙම ගිම්හානයේ ජී7 සමුළුවට මඟ පෙන්වන ලෙසත්, වසංගතය වැළැක්වීම සහ සූදානම සඳහා නව ගෝලීය අරමුදලකට අනෙකුත් සාමාජිකයන් සමඟ හවුල් සහයෝගයක් ප්‍රකාශයට පත්කරන ලෙසටත්, අප ඉල්ලා සිටින්නෙමු. නව අරමුදල මඟින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සමඟ ඒකාබද්ධ වියයුතු අතර අනාගතයේදී සතුන් මඟින් බෝවියහැකි වෛරස රෝග සඳහා විශාලතම අනතුර පවතින ඇමසන්, මධ්‍යම හා බටහිර අප්‍රිකාව, දකුණු හා අග්නිදිග ආසියාවවැනි ප්‍රදේශවල, එම අවදානම අවම කිරීමටද සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය.

COVID-19 ජය ගැනීමට අප උත්සහා කරන අතරතුරම, මෙම වසංගතයේ ප්‍රභවය සහ අනාගතයේ ඇති විය හැකි ප්‍රභවයයන්ද අමතක නොකල යුතුය.

Sonila Cook සහ Nigel Sizer විසින් Mongabay වෙබ් අඩවිය වෙත ලියන ලද We can prevent the next pandemic (commentary) නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.