• අස්වැන්න වැඩි කිරීම් අරමුණු කර ගනිමින් ඉන්දුනීසියාව ගැඹුරු  මුහුදේ සිය ටූනා-ධීවර යාත්‍රා දියත් කිරීම ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
  • මෙම සැලැස්ම ඉන්දුනීසියානු ධීවර අමාත්‍යංශය විසින් අගෝස්තු අග වන විට නිකුත් කිරීමට නියමිත පස් අවුරුදු තිරසාර ටූනා ධීවර ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමේ කොටසකි.
  • බලඇණි පුළුල් කිරීමට අමතරව, තම මුහුදු සිමාවේ ටූනා අස්වැන්න උපාය මාර්ගයක් අනුගමනය කිරීමට ද අමාත්‍යාංශයට සැලසුම් ඇත. මාළු එකතු කිරීමේ යාත්‍රා හා උපකරණ ගණන සීමා කිරීමෙන් යාත්‍රා මඟින් විමෝචනය වන කාබන් ප්‍රමානය අඩු කිරීමටද අපේක්ෂා කරයි.
  • ලොව ඉහළම ටූනා නිෂ්පාදකයා සහ අපනයනකරු වන්නේ ඉන්දුනීසියාවයි.

2025 වන විට ඉන්දුනීසියාව ලොව ප්‍රමුඛ තිරසාර ටූනා මසුන් ඇල්ලීමේ සැලසුමේ කොටසක් ලෙස ගැඹුරු මුහුදේ සිය ධීවර කටයුතු පුළුල් කරමින් සිටී.

ඉන්දුනීසියානු ධීවර අමාත්‍යංශය විසින් රටේ ඉහළම ධීවර කර්මාන්ත වන කෙලවල්ලා, බලයා සහ මැකරල් ආශ්‍රිතව පස් අවුරුදු තිරසාර කළමනාකරණ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් සිදු කරයි: ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඉන්දුනීසියානු ධජ සහිත ටූනා ලෝන්ග් ලයිනර් සඳහා, රටේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) ඔබ්බට ගොස් ජාත්‍යන්තර මුහුදේ කටයුතු සිදු කිරීම මෙම කෙටුම්පතට ඇතුළත් බවයි.

ජපානය, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් විසින් විශාල ටූනාවන් සොයා ගන්නා ඉහළ මුහුදේ ධීවර කර්මාන්ත ආධිපත්‍යය දරන බවත් වත්මන් සැලැස්ම අගෝස්තු අග දී අවසන් වීමට පෙර නව ප්‍රතිපත්තිය නිකුත් කරනු ලබන බවත් ඉන්දුනීසියානු ධීවර අමාත්‍යාංශයේ මත්ස්‍ය සම්පත් අධ්‍යක්ෂක මොන්ගා බේ වෙත ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාප්තිය කලාපීය ධීවර කළමනාකරණ සංවිධාන (RFOO) විසින් ඉන්දුනීසියාවට ලබා දී ඇති අස්වැන්න වැඩි කිරීම සඳහා වන උත්සාහයේ කොටසක් බව ට්‍රියාන් පැවසීය. මේ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය සාගර ටූනා කොමිෂන් සභාව (IOTC), බටහිර මධ්‍යම පැසිෆික් ධීවර කොමිෂන් සභාව (WCPFC), අන්තර් අත්ලාන්තික් නිවර්තන ටූනා කොමිෂන් සභාව (IATTC) සහ දක්ෂිණ බ්ලූෆින් ටූනා සංරක්ෂණය කිරීමේ කොමිසම (CCSBT) ඇතුළත් වේ.

ගෝලීය ටූනා මසුන් ඇල්ලීමේ වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 40 කට වඩා වැඩි අතර ඉන්දුනීසියාව එම ලැයිස්තුවේ ඉහළින්ම සිටී. රජයේ දත්ත වලට අනුව 2012-2018 කාලය තුළ රට තුලට සාමාන්‍යයෙන් මසුන් මෙට්‍රික් ටොන් 628,000 කට වඩා ගෙන එනු ලැබීය. නමුත් කාර්මික යාත්‍රා මෙහෙයවන චීනය සහ දකුණු කොරියාව වැනි අනෙකුත් ප්‍රධාන ධීවර රටවල් මෙන් නොව ඉන්දුනීසියාවේ ධීවර නිෂ්පාදනයෙන් දහයෙන් නවයක්ම ලැබෙන්නේ සාම්ප්‍රදායික හා කුඩා පරිමාණ ධීවරයින්ගෙනි.

2017 සිට ඉන්දුනීසියාව මීට පෙර තමන්ගේම මුහුදු සීමාවෙන් විදේශීය ධීවර යාත්‍රා තහනම් කිරීමෙන් පසු ගැඹුරු මුහුදේ ටූනා බලඇණිය සඳහා කටයුතු කර ඇත. ධීවර අමාත්‍යාංශයේ දත්ත වලින් පෙනී යන්නේ දළ වශයෙන් ටොන් 30 ට වඩා විශාල බලයලත් ටූනා යාත්‍රා සංඛ්‍යාව, 2017 සිට 2020 දක්වා 664 දක්වා දෙගුණයකින් වැඩි වී ඇති බවයි.

සමහර නිරීක්ෂකයින් ටූනා බලඇණිය සැලසුම් සහගතව ව්‍යාප්ත කිරීම පිළිගෙන ඇති අතර නීති විරෝධී හා විනාශකාරී භාවිතයන් අඩු කිරීම, යාත්‍රා දත්ත රැස් කිරීම සහ අධීක්ෂණය වැඩිදියුණු කිරීම සහ එහි ඇල්ලීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඇතුළු තිරසාර පියවරයන් අනුගමනය කරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ.

“විශාල නෞකාවක් තිබීම කෙරෙහි අවධානය යොමු කිරීමට අමතරව, ටූනා අස්වැන්නෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි ද අප අවධානය යොමු කළ යුතු අතර එමඟින් අපට එය වැඩි මිලකට අලෙවි කළ හැකිය” යනුවෙන් අමාත්‍යාංශයේ හිටපු සමුද්‍ර ධීවර අධ්‍යක්ෂ සුල්ෆිකාර් මොච්චාර් මහතා පැවසීය. 

ටූනා ලෝන්ග් ලයිනර් පුළුල් කිරීමට අමතරව, රටෙහි මුහුදු සිමාව තුල ටූනා අස්වැන්න උපාය මාර්ගයක් අනුගමනය කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කරයි; මාළු එකතු කිරීමේ මෙහෙයුම් උපකරණ ගණන සීමා කිරීම, නොවැඩුණු මසුන් ආරක්ෂා කිරීම සඳහා බණ්ඩා මුහුදේ ටූනා මසුන් ඇල්ලීමට තාවකාලික තහනමක් පැනවීම; සහ යාත්‍රා වලින් විමෝචනය වන කාබන් ප්‍රමානය අඩු කිරීම එයට ඇතුලත් කරුණු වේ. පැසිෆික් හා ඉන්දියානු සාගරයට මැදිව පවතින ඉන්දුනීසියාව  පුරා පැතිරී ඇති  ධීවර ස්ථාන බොහොමයක් දැනටමත් සම්පූර්ණයෙන්ම සූරාකෑමට ලක්ව ඇති අතර බොහෝ ටූනා විශේෂ අධික ලෙස මසුන් ඇල්ලීමට ලක් වේ.

ඉන්දුනීසියාවේ ධීවර කර්මාන්තයෙහි තිරසාරත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින සිදු කරමින් සිටී. මත්ස්‍ය තිරසාරත්වය, පාරිසරික බලපෑම් අවම කිරීම, ශ්‍රම අයිතිවාසිකම්වලට ගරු කිරීම, සැපයුම් දාමයේ විනිවිදභාවය සහ සොයාගත හැකි බව සහතික කිරීම සඳහා විවිධ යෝජනා ක්‍රම පවතී. කළමනාකරණය පාලනය කරනු ලබන්නේ හොඳම භාවිතයන් මගිනි.

“නව ප්‍රතිපත්තිය මගින් ගෝලීය වෙළෙඳපොළ තුළ අපගේ ටූනා මත්ස්‍යයන් කෙරෙහි තරඟකාරිත්වය වැඩි දියුණු කළ හැකිය” යනුවෙන් ට්‍රයන් අවසානයට පැවසීය.

Basten Gokkon විසින් Mongabay  වෙත ලියන ලද Indonesia to send more tuna vessels out into international waters නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.