මාර්තු 22 ලෝකය ජල දිනය සමරන අතරතුර හින්දු කූෂ් හිමාලයානු කලාපය අභියස ඇත්තේ තීරණාත්මක අභියෝගයකි. එම අභියෝගය නම් දෛනික ජීවිත වලට හා ජීවමාන පරිසර පද්ධති වලට ජලය සැපයීමේ කාර්යභාරයයි.

“ජලයේ වටිනාකම තක්සේරු කිරීම” මෙම වසරේ ලෝක ජල දිනය සඳහා තේමාවයි. අපට අමිල සම්පතක් වන ජලයේ වටිනාකම තහවුරු කිරීමේ ආරම්භය සනිටුහන් කරන්නේ කෙලෙසක ද?

හින්දු කූෂ් හිමාලයානු කලාපය – ඇෆ්ගනිස්තානය, චීනය, ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය සහ මියෙන්මාරය පුරා පිහිටා ඇති කඳුකර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය ආසියාවේ ජල කුළුණ වශයෙන් ද හඳුන්වනු ලබයි. මෙහි ජලයේ ගලා යාම සහ හිම වියලනය වීම මඟින් දකුණු, අග්නිදිග හා නැගෙනහිර ආසියාව පුරා ප්‍රධාන ගංගා පද්ධති 10 ක් පෝෂණය කරමින් මිලියන 240 ක පමණ ජනතාවකට ජලය සපයයි. එමෙන්ම පහළ ජල පෝෂක කලාපයේ බිලියන 1.65 ජනතාවට ද ජලය සපයන්නෙර් මේ මඟිනි.

තෙත්බිම් සහ හින්දු කූෂ් හිමාලයානු කලාපයේ පවතින ඇදහිය නොහැකි තරම් අපූරු ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා ජලය ඉටු කරන කාර්යභාරයෙන් ඔබ්බට දේශීය හා නාගරික ජල සැපයුම, සනීපාරක්ෂක, වාරිමාර්ග, ජල විදුලිය සහ සංචාරක කටයුතු සඳහා ද අත්‍යවශ්‍යය ය වන හින්දු කූෂ් හිමාලයානු ජලයේ වටිනාකම මිල කළ නොහැකි ය. එනමුත්, තවමත් ජලය සම්පතක් බැව් නොසලකා හැර ඇති බවක් පෙනී යයි.

ආර්ථික විද්‍යාඥයන් සහ ජල සම්පත් කළමනාකරුවන් උත්සහ දරනුයේ ජලයේ වටිනාකම මැනවින් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ය. ජලයේ ආර්ථික වටිනාකමක් පැන නැඟෙන්නේ ජල ඉල්ලුම හේතුවෙනි. එම ඉල්ලුමට සැපයුම් ප්‍රතිචාරය වශයෙන් ජල කළමනාකරුවන් කටයුතු කරනුයේ, නියමිත ස්ථානයන් වෙත නියමිත වෙලාවට සහ අපේක්ෂිත ජල පරිහරණ අවම සිමාවට වඩා ගුණාත්මක මට්ටම් වලට ජල ප්‍රමාණයක් වෙන් කිරීමට උත්සහ කිරීමෙනි.

ජල ඒකකයක ආර්ථික වටිනාකම වර්ධනය වනුයේ ජල සැපයුම හිඟ වීමෙන් හෝ තරඟකාරී ඉල්ලුම් ඇති වීම නිසා ය.ආර්ථිකමය වශයෙන් ගත් කල, ජල කළමණාකරුවන් ඉල්ලුම හරහා ජලය වෙන් කීරීමේ ක්‍රියාදාමය සමතුලිත කිරීමට උත්සහ දරමින් එක් එක් ඒකකය සඳහා ඉහළ ආන්තික වටිනාකමක් ඇති භාවිතයන් වෙනුවෙන් වැඩි ජල පරිමාවක් ගෙන යාම අරමුණු කර සිටියි. ඇතැම් භාවිතයන් වල දී ජලයේ වටිනාකම, එක් එක් නිෂ්පාදනය සඳහා පරිභෝජනය කරන ජල පරිමාව හා නිෂ්පාදන  ඵලදායීතාව අනුව ද ප්‍රකාශ කළ හැකිය. 

නමුත් ප්‍රමාණාත්මක ජල අගයන් “ධනාත්මක” ලෙස පෙන්නුම් කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලීන්ට හා ඵලදායීතා භාවිතයන්ට පමණක් සීමා විය යුතු නැත. මන්දයත්,  ජලය පරිමාව අධික වීමෙන්  හෝ ජල දූෂණයෙන් දැරීමට සිදුවන පිරිවැය හෝ හානිය සලකා බලන විට එහි ප්‍රමාණාත්මක අගයන් “ඍණ” විය හැකිය. උදාහරණ වශයෙන් මෝසම් සමයේදී ගංගා තැනිතලා වල හටගන්නා පුළුල් ගංවතුර තත්වය හින්දු කූෂ් හිමාලයානු කලාපයේ කඳුකර නිම්න සැලකූ විට තරමක් අඩු වුවද ඒ මඟින් ඇති කරන විනාශකාරී බලපෑම පවතින්නේ ඉහළ අගයක ය. ඉන්දියාවේ උත්තරාකන්ඩ්හි මෑතකදී සිදු වූ දැවැන්ත පාෂාණ නායයෑමෙන් ඇති වූ ගංවතුර, අහිමි වූ ජිවිත හා යටිතල පහසුකම් හානි වලින් පිළිඹිබු කරන ලද්දේ ජලයේ ඇති විනාශකාරී බලයයි.

සංඛ්‍යාවන් ප්‍රමාණාත්මක නොවන ලකුණු

හින්දු කූෂ් හිමාලයානු කලාපයේ ජලයේ වටිනාකම සම්බන්ධව සංඛ්‍යාත්මකව පිළිතුරු දීම බොහෝ දෙනකුට අසීරු ය. මන්දයත් ජල වටිනාකම සඳහා ඇති බොහෝ නිර්වචන බර වී ඇත්තේ ආර්ථික අංශයට වඩා සිය පෞද්ගලික මත වෙතටය. අප බොහෝ විට ජලයේ වටිනාකම හඳුනාගන්නේ අප දෛනිකව පුරුදු වී ඇති ක්‍රමවේදයේ වෙනසක් සිදුවීමෙන් අනතුරුවය. උදාහරණයක් වශයෙන් නගරයේ ජල සැපයුම කඩාකප්පල් වූ විටෙක, අපගේ ජල ටැංකිය හිස් වී යන විටෙක, එමෙන්ම පෙරදී පැහැදිලි පිරිසිඳු දිය ගලා ගිය දිය පහරක් සුන්බුන් හා කසළවලින් දූෂණය වී දුර්වර්ණ වී ඇති විටෙක ජලයේ අගය අප සිතට ඇතුළු වේ.

තනි පුද්ගලයන් ලෙස හෝ සමූහයක් ලෙස ජලයේ වටිනාකම තේරුම් ගැනීම සඳහා ආරම්භයක් ලෙස විශාල වශයෙන් සිදු වෙමින් පවතින දේශගුණික විපර්යාසයන් යොදා ගත හැකිය. පහත් බිම් වලට සාපේක්ෂව වඩා වේගයකින් කඳුකර බිම් වල උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම දැන් අප කලාපයට දැනෙමින් තිබේ. හින්දු කූෂ් හිමාලයානු කලාපයේ කඳුකර උල්පත් සිඳී යමින් ප්‍රජාවන්ගේ හා පරිසර පද්ධති වල ජීව රුධිරය වියළී යමින් පවතින අතර එය, කලාපය මැද කඳුකරයේ ජීවන රටාවන්ගේ විශාල වෙනස්කම් ඇති කරයි. ගංගා පද්ධතියට වසර පුරා ජලය සපයන ගැසියර වේගයෙන් දියවී යාම නිසා නිදුරේම ගංගාවන්ගේ ජල හලා යාම විශාල වශයෙන් වැඩි වීමේ ඉඩකඩක් ඇති අතර එමඟින් පහළ ජල පෝෂක කලාපයේ වෙසෙන මිලියන ගණන් ජනතාවගේ ජල සැපයුම අඩාල වනු ඇත.

2021 වසරේ ජල දිනයේදී හින්දු කූෂ් හිමාලයානු කලාපයේ ඇති අභියෝග වන්නේ දෛනික දිවි අවැසිතා වලට සහ ජීවත්වන පරිසර පද්ධති වලට සහය දැක්වීම සඳහා ජලය ඉටුකරන තීරණාත්මක කාර්යභාරය ගැන නැවත වරක් සලකා බැලීමයි. මන්දයත් ජලය අමිල සම්පතක් වන අතර අප එය සුළු කොට තැකිය යුතු නොවේ.

Randall Ritzema විසින් The Third Pole  වෙත ලියන ලද What is the value of water in the Hindu Kush Himalayan region? නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.