• ශ්‍රී ලංකාව තුල කුඩා ඉන්දියානු  කබල්ලෑ ගහනය, ගෘහස්ථ මස් පරිභෝජනය සඳහා දඩයම් කිරීම හේතුවෙන් දිගු කලක් තිස්සේ තර්ජනයට ලක්ව ඇත. නමුත් සංරක්‍ෂකයින් විදේශයන්හි ජාවාරම් සඳහා සතුන් අල්ලා ගැනීමේ නැගී එන ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇත.
  • සත්වයා පිළිබඳ දුර්වල සාමාන්‍ය දැනුම, උගේ මස් අනුභව කිරීම පිළිබඳ නොනවතින මිථ්‍යාවන් සහ ශ්‍රී ලංකාවේ  කබල්ලෑවන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන්හි හිඟකම හේතුවෙන් මෙම විශේෂය ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.
  • මෙම විශේෂය පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් විශේෂඥයෙකු වන ප්‍රියාන් පෙරේරා පවසන්නේ, එය වෙනස් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, පළමුව  කබල්ලෑවන් සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ දැනුමේ හිඩැස් පිරවීම තුලින් එය ආරම්භ කරන බවත්, දඩයම් කිරීම අධෛර්යමත් කිරීම සඳහා ප්‍රජාවන් සහ පාසල් දැනුවත් කිරීම සිදු කරන බවත්ය.
  • Mongabay සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පෙරේරා පැවසූයේ, ශ්‍රී ලංකාව තුල ඉන්දියානු පැන්ගෝලින් ගැන වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ වැදගත්කම, නව ජාවාරම් ප්‍රවණතාව පෙන්වා දෙන සිදුවීම් සහ අත්අඩංගුවට ගත් හෝ තුවාල වූ  කබල්ලෑයන් රැකබලා ගන්නේ කෙසේද යන්න ගැන කතා කිරීම වැදගත් බවය.

දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉන්දියානු  කබල්ලෑයන්ගේ  කුඩා ජනගහනය තනි ස්ථාවර තර්ජනයකට මුහුණ දී ඇත. එනම් ගෘහස්ථ මස් වෙළඳපොළයි.  කබල්ලෑ මස් සමහරුන් ප්‍රණීත ආහාරයක් ලෙස සලකන අතර තවත් සමහරු එය විවිධ රෝග සඳහා ඖෂධීය ගුණ ඇති බව විශ්වාස කරති. කෙසේ වෙතත් නව ප්‍රවණතා පෙන්නුම් කරන්නේ, ලොව වැඩියෙන්ම ජාවාරම් කරන ක්ෂීරපායී සත්වයා, ධීවර බෝට්ටුවලින් ළඟපාත ඉන්දියාවට හොර රහසේ ගෙන යන බවත් එනිසාම උන් තවදුරටත් තර්ජනයට ලක්වන බවත්ය. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව පැන්ගෝලින් ජාවාරමේ ප්‍රධාන වෙළඳ සහ මූලාශ්‍ර රටක් ලෙස නොසැලකේ.

වනාන්තර, තෘණ බිම් සහ රබර්, තේ, කුරුඳු වගාවන් වැනි මිනිසුන් විසින් නවීකරණය කරන ලද වාසස්ථානවල දක්නට ලැබෙන මොවුන් ලැජ්ජාශීලී, කොරපොතු සහිත කුහුඹුවන් ආහාරයට ගනිමින්  දිවා කාලයේදී තම ගුල් තුළ රැඳී සිටීමට කැමැත්තක් දක්වන නිශාචර ජීවීන් වේ. නමුත් කබල්ලෑ මස් සොයන ගම්වැසියන් ඒවා සොයා ගන්නේ කෙසේද සහ කොතැනදැයි යන්න හොඳින් දනී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පරිසර විද්‍යා අංශයේ ප්‍රියාන් පෙරේරා ශ්‍රී ලංකාවේ කබල්ලෑයන් පිළිබඳව ඉහළම පර්යේෂකයා වන අතර, පසුගිය දශකය තුළ නොපෙනෙන ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා කැපවී සිටී. ඔහු නිරිතදිග ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තරයක පර්යේෂණ ස්ථානයක් පිහිටුවූ අතර, දිවයිනේ  කබල්ලෑයන් සංරක්ෂණය ඉහළ නැංවීමට තරුණ පර්යේෂකයන් කණ්ඩායමක් සමග කටයුතු කරයි.

“වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ට විකාශනය වන තර්ජන වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මම කබල්ලෑ පර්යේෂණ වැඩි කිරීමට උත්සාහ කළෙමි. දේශීය පර්යේෂණ ඉතා අල්ප වී ඇති අතර සංරක්ෂණ ප්‍රයත්නයන් ඉහළ නැංවීම සඳහා අපට වැඩිදුර අධ්‍යයනයන් සහ විශ්වාසදායක දත්ත අවශ්‍ය වේ, ”ඔහු මොන්ගාබේට පවසයි.

පෙරේරා ශ්‍රී ලංකාවේ කබල්ලෑයන් ගැන සොයා බැලීමට පෙර, ඔවුන් පිළිබඳ පැවති එකම විද්‍යාත්මක සාක්ෂිය වූයේ 1983 දී ඉන්දියානු පැන්ගෝලින් ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනයකි. එය වෙනස් වීමට දශක තුනකට වැඩි කාලයක් ගත විය. 2017 අධ්‍යයනයක දී, පෙරේරා දැනට පවතින දැනුම, තර්ජන සහ පර්යේෂණ ප්‍රමුඛතා සමාලෝචනය කළ අතර, 2018දී කල පසු විපරම් අධ්‍යයනයක දී, ඔහු දකුණු ශ්‍රී ලංකාවේ කබල්ලෑ වාසස්ථාන දෙස හොඳින් බැලුවේය.

ගෝලීය වනජීවී සංරක්ෂණ අධිකාරිය වන IUCN හි කබල්ලෑ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පෙරේරා පවසන්නේ “නැවුම් අධ්‍යයන මාලාවක් සමගින්, අප ගොඩනගා ගැනීමට උත්සාහ කළ දැනුමේ හිඟයක් පවතින බවයි.

මොන්ගාබේ සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ප්‍රියාන් පෙරේරා, ශ්‍රී ලංකාව තුල ඉන්දියානු කබල්ලෑයන් ගැන වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ වැදගත්කම, නව ජාවාරම් ප්‍රවණතාවක් පෙන්නුම් කරන සිදුවීම් සහ අත්අඩංගුවට ගත් හෝ තුවාල වූ කබල්ලෑයන් රැකබලා ගන්නේ කෙසේද යන්න ගැන කතා කළේය.

කබල්ලෑයන් ඔවුන්ගේම ගුල් කැණීම් කරන අතර, මෙම අතහැර දැමූ වලවල් පසුව ඉත්තෑවන් වැනි අනෙකුත් ෆොසෝරියල් සතුන්ට( (පොළොවේ ගුල් තුල ජිවත් වන සතුන්ට) නිවහනක් සපයයි. ඡායාරූපය: ප්‍රියාන් පෙරේරා / මොන්ගාබේ 

මොංගාබේ: මෙම දුර්ලභ පර්යේෂණ ක්ෂේත්‍රය තෝරා ගැනීමට ඔබ පෙලඹවූයේ කුමක්ද සහ පැන්ගෝලින් හැසිරීම් අධ්‍යයනයෙන් මෙතෙක් ලබා දී ඇත්තේ කුමක්ද?

ප්‍රියාන් පෙරේරා: ඉන්දියානු පැන්ගෝලින් පර්යේෂණයේ අඩුපාඩුවක් ඇති බව මට දැනුනි. කුඩා කාලයේ අපි ද ඔවුන් බහුල බව දැන සිටියෙමු. නමුත් වසර ගණනාවක් පුරා, උන් බැලීම පහසු නොවන බව දන්නා කරුණකි. එතන තියෙන්නේ උත්තර නැති ප්‍රශ්නයක්. 1983 අධ්‍යයනයකින් පසුව, අපි පැන්ගෝලින් පිළිබඳ සැලකිය යුතු පර්යේෂණයක් සිදුකර නොමැති අතර එය දැන් අවශ්‍යය.

ඉන්දියානු කබල්ලෑ සංසර්ගයේ යෙදෙන විට සහ තම පැටවුන් ඇති දැඩි කරන විට හැර, හුදකලාව වසන ජීවීන් වේ. ඔවුන් ඔවුන්ගේ ලැජ්ජාශීලී හැසිරීම සහ ආත්මාරක්ෂාව සඳහා රවුම්ව ගුලිවීම සඳහා ප්‍රසිද්ධය. උන් ස්වභාවයෙන්ම නිශාචර වන අතර, දිවා කාලයේදී ගුල්ගුහා තුළ රැඳී සිටිති. ඔවුන්, බාධා කරන විට හෝ තර්ජනයක් දැනෙන විට හීන් හඬක් නිකුත් කරයි.

ඔවුන් තමන්ගේම ගුල් කැණීම් කරන අතර, මෙම අතහැර දැමූ වලවල් පසුව ඉත්තෑවන් වැනි අනෙකුත් ෆොසෝරියල් සතුන්ට (පොළොවේ ගුල් තුල ජිවත් වන සතුන්ට) නිවහන් සපයයි.

විශේෂයෙන් කුහුඹුවන් සහ වේයන් ඔවුන්ගේ වාසස්ථානවල කෘමි ගහනය නියාමනය කිරීමේදී කාර්යභාරය හඳුනා ගනිමින් කටයුතු කරයි.

ලෝකයේ වඩාත්ම ජාවාරම් කරන සත්වයා ලෙස සැලකෙන ඉන්දියානු පැන්ගෝලින් දඩමස් වෙළඳාම හේතුවෙන් පැවැත්මේ තර්ජනවලට මුහුණ දී සිටී. නමුත් මෙම සත්වයා පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම ඔවුන්ගේ පැවැත්මට බරපතලම තර්ජනයක් වී ඇත. මිනිසුන්ට විවිධ මිථ්‍යාවන් සහ විශ්වාසයන් ඇත. එය දඩමස් වෙළඳාම මෙහෙයවයි. පැන්ගෝලින් ඔවුන්ගේ කොරපොතු සහ මස් සඳහා ඉලක්ක වී ඇත. ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මස් ප්‍රණීත ආහාරයක් වන අතර සමහරු විශ්වාස කරන්නේ ඇදුම සුව කිරීමට, මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ කෘමිනාශකයක් ලෙසද මෙම මස් වල පෝෂණයන් අඩංගු බවයි.

ආතතියට හෝ තර්ජනයට ලක් වූ විට කබල්ලෑයන් ඉක්මනින් බෝලයක් වැනි ඉරියව්වකට පෙරළීමට සමත් වේ.  ඡායාරූපය: ප්‍රියාන් පෙරේරා/ මොන්ගාබේ 

මොංගාබේ: ශ්‍රී ලංකාවේ ඉන්දියානු  කබල්ලෑයන් ප්‍රමාණය කොපමණද?

ප්‍රියාන් පෙරේරා: ශ්‍රී ලංකාව මීට පෙර ජනගහන ව්‍යාප්ති අධ්‍යයනයන් කිහිපයක් සිදුකර ඇත. අපි විවිධ පැති දෙස බලන අධ්‍යයන මාලාවක් සමගින් එය සිදුකිරීමට උත්සාහ කළද දැනුමේ හිඟතාවයක් නිසා අසාර්ථක විය.

අප 2013 සිට ඒවා අධ්‍යයනය කරමින් සිටින අතර, මෙම නොපැහැදිලි සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්වයාට පරිණාමය වෙමින් පවතින තර්ජනද හඳුනාගෙන ඇත. අපි මුලින්ම, පවතින දැනුම සමාලෝචනය කළා. පරතරය හඳුනාගැනීම් කළා. පසුව 2017 අධ්‍යයනයක් හරහා විශේෂවල පැවැත්මට සහ පර්යේෂණ ප්‍රමුඛතාවලට ඇති තර්ජන දෙස බැලුවා. 2018 අධ්‍යයනයකින් දකුණු ශ්‍රී ලංකාවේ කබල්ලෑයන්ගේ වාසස්ථාන මනාපයන් පිළිබඳව සොයා බැලීය. ඉන්පසු අපි අධ්‍යනය කළේ  ඔවුන්ගේ ආහාර ගැනීමේ පුරුදු ගැනයි.

සිදුවීම සම්බන්ධයෙන්, වනාන්තර ප්‍රදේශවල සහ ගම්වල ඉඳහිට කබල්ලෑයන් දැක ගැනීමට හැකි වූ අපගේ ළමා කාලය සිහිපත් කිරීමට උත්සාහ කලෙමු. නමුත් ඒවා තවදුරටත් බැලීම පහසු නැත. දශක තුනකට පෙර සුලභ දසුනක් වූ දෙය දැන් දුර්ලභ දෙයක් බවට පත් වී ඇති අතර එය ඔවුන්ගේ පැවැත්මට සහ වාසස්ථාන වෙනස් කිරීමට ඇති විය හැකි තර්ජනය පිළිබඳ සරලම දර්ශකය වේ.

අපි වාසස්ථාන අධ්‍යයනය කරන්නේ දත්ත පමණක් නොව හැසිරීම් අධ්‍යයනය කිරීම සඳහාය. ඒවා බොහෝ දුරට වනාන්තර, රබර් සහ කුරුඳු වගාවන් මෙන්ම තේ වගාවද සිදු කෙරෙන ගෙවතුවල ද දක්නට ලැබේ. ස්වභාවික වනාන්තරවලට අමතරව, වනාන්තරවලට යාබදව මිනිසා විසින් නවීකරණය කරන ලද කෘෂිකාර්මික ඉඩම් ඔවුන් සඳහා වැදගත් ආහාර වාසස්ථාන ලෙස ක්‍රියා කරන බව අපි හඳුනාගෙන ඇත්තෙමු.

ජනගහනය සහ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් නොවන අතර, ව්‍යාප්තිය සහ සංරක්ෂණ තත්ත්වය යන දෙකම තක්සේරු කිරීම සඳහා අපි ප්‍රාථමික සහ ද්විතියික දත්ත ඒකාබද්ධ කිරීමේ ක්‍රමයක් භාවිතා කළෙමු. අපි දත්ත සහ ක්ෂේත්‍ර අධ්‍යයනයන් පිළිබඳ පද්ධතිමය සමාලෝචනයක් කළ අතර අපරාධ සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කළෙමු. නමුත් කබල්ලෑයන්ගේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කිසිදු තොරතුරක් හමුවූයේ නැත. කබල්ලෑයන්ගේ සාම්ප්‍රදායික භාවිතයන් අවබෝධ කර ගැනීම සඳහා, අපි සාම්ප්‍රදායිකව යැපීමට දඩයම් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආදිවාසී ප්‍රජාවේ නායකයා සමඟ සම්මුඛ සාකච්ඡා කළෙමු.

ලෝකයේ වඩාත්ම ජාවාරම් කරන සත්වයා ලෙස සැලකෙන ඉන්දියානු  කබල්ලෑයන් දඩ මස් වෙළඳාම හේතුවෙන් පැවැත්මේ තර්ජනවලට මුහුණ දී සිටී. ඡායාරූපය: ප්‍රියාන් පෙරේරා/ මොන්ගාබේ  

මොංගාබේ: ශ්‍රී ලංකාවේ පැන්ගෝලින් මුහුණ දෙන තර්ජනවල වෙනස්කම් ඔබ නිරීක්ෂණය කර තිබේද?

ප්‍රියාන් පෙරේරා: ඔවුන් මූලික වශයෙන් දඩයම් කිරීම මගින් තර්ජනයට ලක්ව ඇත. වාසස්ථාන අහිමි වීම ද ප්‍රශ්නයකි. තවත් තැන්වල ඔවුන් බොහෝ සේ ජාවාරම් කරති. බෝට්ටු යොදාගෙන, මස් ඉන්දියාවට හොර රහසේ ගෙන යන දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව මතුවීම ද අපගේ පර්යේෂණවලින් පෙන්වා දී ඇත. යැපුම් ක්‍රමයේ සිට නැගෙනහිර ආසියාතිකයන්ට මස් වෙළඳාම දක්වා පරිණාමය වෙමින්, මෙහි ඇතැම් පරිභෝජන රටා ද වෙනස් වෙමින් පවතී.

ඉන්දියාවට  කබල්ලෑ කොරපොතු ජාවාරම සිදුවෙමින් පවතින අතර, විභව තර්ජනය පවතින්නේ, කබල්ලෑ මස් පරිභෝජන රටා තුළ ය. 

මොංගාබේ:  කබල්ලෑයන් මුදාගැනීමේ වැඩසටහන් මෙහි තිබේද?

ප්‍රියාන් පෙරේරා: කබල්ලෑයන් රැකවරණය පිළිබඳ සාමාන්‍ය දැනුවත්භාවයක් නොමැත. ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමතරව, යගිරල පිහිටි අපගේ පර්යේෂණ මධ්‍යස්ථානයට ආසන්නව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද අපි පවත්වන්නෙමු.

කබල්ලෑයන් රැකබලා ගැනීම සඳහා, අප මුලින්ම පවතින තර්ජන මොනවාද යන්න තේරුම් ගත යුතුය. ඔවුන් බොහෝ විට බල්ලන් විසින් දඩයම් කෙරෙනු ලැබෙන අතර මස් සඳහා සහ සමහර විට කොරපොතු සඳහා ඔවුන් රැගෙන යයි. එලෙස මරා දැමෙන හෝ අල්ලා ගනු ලබන සතුන්, ප්‍රදේශවාසීන් විසින් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම හෝ වෙළඳාම් කිරීම ද සිදුකර ඇත.

ඔබට ප්‍රහාරයට ලක් වූ හෝ ප්‍රවාහනය කරන කබල්ලෑවෙකු හමුවන්නේ නම් හොඳින් බලන්න, සතුන් විජලනය වී කම්පනයට පත් වනු ඇත. එහිදී මුලින්ම සත්වයා සන්සුන් කළ යුතු අතර ජලය සැපයිය යුතුය. පසුව සෘජු හිරු එළියෙන් ඔවුන්ව ඈත් කරන්න. ආරක්ෂිත ස්ථානයකට ප්‍රවාහනය කිරීමේදී වාතාශ්‍රය ඇති ලී පෙට්ටි වඩාත් සුදුසු වන අතර එවැනි තත්ත්වයන් හැසිරවීමට වනජීවී නිලධාරීන් වඩාත් හොඳින් සන්නද්ධව සිටී. කබල්ලෑ පැටවුන්ට කිරි දීමට, සුනඛ හෝ ළදරු කිරි හොඳ විකල්පයකි. පරිණත කබල්ලෑයන් සඳහා, ඔවුන්ගේ ස්වාභාවික ආහාර වන  රතු කුහුඹුවන්, වේයන් හෝ තැම්බූ කුකුළු මස් ලබා දීම වඩාත් සුදුසුය.

කබල්ලෑයන් සම්බන්ධව පර්යේෂණ සිදු කරනු ලබන ප්‍රියාන් පෙරේරා ක්ෂේත්‍ර අධ්‍යයනයකදී. ඡායාරූපය: සුරේෂ් වෙත්තසිංහ/ මොන්ගාබේ  

මොංගාබේ: COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයට කබල්ලෑවා අතරමැදි සත්කාරකයකු වීමේ හැකියාව මස් වෙළඳාමට බලපා තිබේද?

ප්‍රියාන් පෙරේරා: පැන්ගෝලින්ගේ මෙම සුවිශේෂී භූමිකාව සහ මිනිසුන්ට ඇති විය හැකි බලපෑම පිළිබඳව මේ වන විට ගෝලීය අධ්‍යයනයන් කිහිපයක් තිබේ.

දකුණු චීන කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ මිනිසුන්ට ආසාදනය වූ කිරීටක වෛරසයට ආසන්නව සමාන වූ වෛරසයක්  කබල්ලෑයන් තුළ හඳුනා ගැනීමෙන් පසු  කබල්ලෑයන් මාරාන්තික කොරෝනා වයිරසයට සම්බන්ධ විය හැකි බවයි. කෙසේ වුවත් වර්තමාන වසංගතයට සහ කබල්ලෑයන් අතර සෘජු සම්බන්ධයක් ඇති කිරීමට තවත් අධ්‍යයනයන් අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, වසංගතය ආසාදනය හා මාරාන්තික බියක් ඇති කිරීමත් සමගම,  කබල්ලෑ මස් සඳහා ඇති ඉල්ලුම පහත වැටීමක් ගැන නම් අප දුටුවේ නැත.

නීතිවිරෝධී කබල්ලෑ වෙළඳාම අවසන් කිරීම සඳහා සංරක්ෂණ ප්‍රතිපත්ති ගෙනයාමට සහ වන සතුන් පරිභෝජනය කිරීම හා සම්බන්ධ විය හැකි සෞඛ්‍ය අවදානම් අවම කිරීම සඳහා දැනුවත් වීමට වසංගතය අපට අවස්ථාවක් ලබා දෙන බව මට හැඟේ. වසංගතයේ උච්චතම අවස්ථාව තුළ බිය උපදවන නමුත්, වසංගතය  කබල්ලෑ වෙළඳපල අඩුවීමට හේතු වී තිබේද යන්න පැහැදිලි නැත.

මොංගාබේ: කබල්ලෑ ජාවාරම් රටා හඳුනා ගැනීමට ඔබට හැකි වී තිබේද?

ප්‍රියාන් පෙරේරා: ශ්‍රී ලංකාව යනු මස්, සජීවී සතුන් හෝ කොරපොතු වෙළඳපොලක් නොවේ. එම සිද්ධීන් හොඳින් වාර්තා වී ඇත්ද යන්නත් අපට සැකයි. බරපතල දත්ත හිඟයක් ඇති බවද අපට හැඟේ. සටහන් කර ඇති ප්‍රධාන රාජසන්තක කිහිපයක් බලමු.

ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් වැඩි වශයෙන් පැන්ගොලින් තොග ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ බවට වාර්තා වී තිබේ. 

මෙම සිදුවීම් ඇතුළත් වේ:

  • 2012 නොවැම්බර් : ඉන්දියාවට යැවීමට තිබු කබල්ලෑ කොරපොතු 2.2 kg (රාත්තල් 4.9)
  • 2017 පෙබරවාරි: ඉන්දියාවට යැවීමට තිබු කබල්ලෑ කොරපොතු කිලෝග්‍රෑම් 11 (රාත්තල් 24)
  • 2017 මැයි: ඉන්දියාවට යැවීමට තිබු කබල්ලෑ කොරපොතු කිලෝග්‍රෑම් 3.8 (රාත්තල් 8.4) 
  • 2017 නොවැම්බර්: ඉන්දියාව අපේක්ෂිත ගමනාන්තය ලෙස වයඹ දිග කල්පිටියෙන් කබල්ලෑ කොරපොතු කිලෝග්‍රෑම් 130 (රාත්තල් 287) සොයා ගන්නා ලදී
  • 2018 මැයි: කොළඹ චීන අවන්හලක අධි ශීතකරණයක තබා ඇති සජීවී ඉන්දියානු කබල්ලෑයෙකු
  • 2018 ජූලි – චීනයට යැවීමට තිබු කබල්ලෑ කොරපොතු කිලෝග්‍රෑම් 1.7 (රාත්තල් 3.7) 

මේවා, බිම් මට්ටමේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් සහ දඩයම්කරුවන්ගෙන් රැස් කරගත් තොරතුරු සමගින්, කබල්ලෑ කොරපොතු සඳහා නැගී එන වෙළඳපොළක් පවතින බව යෝජනා කරයි. සමකාලීන ජාවාරමට මූලික වශයෙන් ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවලින් ලබා ගන්නා පරිමාණයන් ඇතුළත් වන අතර වඩාත් පොදු ගමනාන්තය චීනයයි.

ප්‍රසාරණය වන වෙළඳපොළ පිළිබඳව තවත් අධ්‍යයනයක් කළ යුතුව ඇත. චීන සහ සුන්දා පැන්ගෝලින්ගේ [Manis pentadactyla සහ Manis javanica] ජනගහනය අඩුවීම මෙන්ම, දඩයම්කරුවන් ගෝලීය සහ නැගෙනහිර ආසියානු වෙලඳපොලවල කබල්ලෑයන්ගේ මූල්‍ය වටිනාකම පිළිබඳව වැඩි වැඩියෙන් දැනුවත් වීම නිසා මෙය සිදු විය හැකිය.

උපුටා දැක්වීම්:

Perera, P., Karawita, K., & Pabasara, M. (2017). Pangolins (Manis crassicaudata) in Sri Lanka: A review of current knowledge, threats and research priorities. Journal of Tropical Forestry and Environment, 7(1). doi:10.31357/jtfe.v7i1.3018

Karawita, H., Perera, P., Gunawardane, P., & Dayawansa, N. (2018). Habitat preference and den characterization of Indian pangolin (Manis crassicaudata) in a tropical lowland forested landscape of southwest Sri Lanka. PLOS ONE, 13(11), e0206082. doi:10.1371/journal.pone.0206082

Xiao, K., Zhai, J., Feng, Y., Zhou, N., Zhang, X., Zou, J., … Shen, Y. (2020). Isolation of SARS-CoV-2-related coronavirus from Malayan pangolins. Nature, 583(7815), 286-289. doi:10.1038/s41586-020-2313-x

Dilrukshi Handunnetti විසින් Mongabay වෙත ලියන ලද Shining a light on Sri Lanka’s little-studied pangolins: Q&A with Priyan Perera නම් ලිපියේ සිංහල පරිවර්තනයකි