රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි.

2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය කළ රක්ෂිත ඇතුළු වනගත ප්‍රදේශ හෙළි කිරීම නිසා අවතැන්වන වන අලින් ඇතුළු වන සතුන්හට වාස භූමියක් තැනීමේ අරමුණින් හෙක්ටෙයාර 30000කට අධික භුමි ප්‍රදේශයක් යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස වෙන්කරනු ලැබුවත් එම  වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන්  2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ හෙක්ටයාර 23746.55කින් යුත් භූමි ප්‍රමාණයක් පමණ බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

    එම දත්ත විශ්ලේෂණය කර බැලීමේදී හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් 2009 වර්ෂයේ වෙන්කරන ලද භූමියෙන් 2021 අප්‍රේල් මස 09 දින වන විට හෙක්ටෙයාර 6,254 පමන  ප්‍රමාණයක් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම නිසා මෙන්ම  විවිධ පුද්ගලයන් විසින්  නීති විරෝධීව අල්ලාගැනීම හේතුවෙන් අඩුවී තිබේ.

සිතියම. 2010 අලි කළමනාකරණ රක්ෂිත සිතියම මූලාශ්‍රය: වනජීවී දෙපාර්තමීන්තුව

 2009 වර්ෂයේදී හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ සහ ඒ අවට සිදු වූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදු වූ කැලෑ හෙළිකිරීමෙන් අවතැන් වූ වනඅලින් උදෙසා වනඅලි කළමනාකරණ රක්ෂිත භූමිය වෙන්කරන ලද අතර ඒ සඳහා මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයන් ද අයත් විය. 2009 අංක 22 දරන වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2වන වගන්තියට අනුව මෙම වන අලි කළමනාකරණ රක්ෂිත භූමි  ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට තිබුණත් වසර ගණනාවක් තිස්සේ  එම කටයුත්ත ද සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති වූ අලි මිනිස් ගැටුම හේතුවෙන් විනාශ වනඅලි, මිනිස් ජීවිත රැක  ගැනීම සඳහා   හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු  සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ දී 2021.ජනවාරි 18 වන දින  සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.

ඡායාරූපය. ගොවි උපවාසය හා සත්‍යග්‍රහය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ඡායාරූපය. ගොවි උපවාසය හා සත්‍යග්‍රහය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මෙම ගොවීන්ගේ සත්‍යග්‍රහයට හා උපවාසයට සහයෝගය දක්වමින් අවස්ථා කීපයකදීම ගොවි සංවිධාන පරිසර සංවිධාන එක්ව විරෝධතා ද පවත්වන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්‌ෙටයාර 23746.55කින් යුත්  හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරනු ලැබුවත් එම ප්‍රදේශයේ තවමත් නීතිවිරෝධී කටයුතු සිදුවන බවත් විවිධ පුද්ගලයන් මහා පරිමාණ ලෙස රක්ෂිත ප්‍රදේශය හෙළි කරන බවත් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවිසංවිධානයේ ලේකම්  අයි.පි සමන් සුදර්ශන මහතා පෙන්වා දෙයි.

  මෙවන් පසුබිමක හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන මුවාවෙන් සිදුකර ඇත්තේ ජනතාව මුලා කිරීම  මෙන්ම  ගොඩනැගුණු ජනතා ව්‍යාපාරය යටපත්කිරීමට බව තවමත් අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් නීති රෙගුලාසි සකස් නොකිරීමෙන් පැහැදිලි වන කාරණයක් බවත්  අලි කළමනාකරණ රක්ෂිතය ආරක්ෂා  කරගැනීම  සම්බන්ධයෙන් සක්‍රිය දායකත්වයක් ඉදිරියේදී ලබා නොදුන්නොත් වලව වම් ඉවුර ගොවිසංවිධානය මගින් නැවතත් විරෝධතාවයකට යාමට කටයුතු කරන බවත් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවිසංවිධානයේ ලේකම්  අයි.පි සමන් සුදර්ශන මහතා පවසා සිටි.


ඡායාරූපය. හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

”හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂකවරයා මෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ නිලධාරීන් සමඟ 2021 ජුනි මාසයේ 30වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී වූ පරිදි වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් වූ නීති මේ වනතෙක් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට හැකියාවක් ලැබිලා නෑ.”

” එහිදී සාකච්ඡා වූ  ප්‍රධාන දෙයක් තමයි දැනට ඇහිරී තිබෙන අලි මංකඩවල් විවෘත කරලා, අනවශ්‍ය විදුලි වැටවල් අයින් කිරීම මෙන්ම අනවසර වගාකරුවන් ඉවත්කිරීම සඳහා එම රැස්වීමේදී එකඟතාවයට ආවත් ඒ කිසිවක් මේ වනතුරු ඉෂ්ඨ කරලා නැතිබව හෙතෙම කියා සිටි.”

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්   හම්බන්තොට දිස්ත්‍රික්ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ මෙවන් දහසක්

”වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මාසයේ 09 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නමුත් ඒක නීතියක් බවට පත්වෙන්නේ පාර්ලිමේන්තුවේ සභා ගත වූවායින් පස්සේ. ඒක ඉක්මනට කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඊට පස්සේ තමයි වනඅලි කළමනාකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වෙන වනඅලි කළමනාකරණ කමිටුව නිත්‍යානුකූල වෙන්නේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් තාම රෙගුලාසි ද නිකුත්කරලා නෑ ‘’

අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් අහිමි වූ හැටි

 හම්බන්තොට වල්සපුගල  ප්‍රදේශයේ මහවැලි කලාපයට අයත් භූමි ප්‍රදේශය 2003 වසරේදී  කිරි ගොවීන්ගේ තෘණ  භූමි සඳහා වෙන්ව තිබියදී පසුව 2008 දී  මෙම භූමි භාගය වන අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කරනු ලබන්නේ ඒ වනවිට වනඅලින්ගේ වාස භුමි දැඩි සේ හෙළි කරමින් සිදු කළ දැවැන්ත සංවර්ධනය හමුවේ නිර්මාණය වූ අලි මිනිස් ගැටුම සඳහා පිළියමක් ද ලෙසිනි. කෙසේ නමුත් මේ අතර මෙම අලි කළමනාකරණ රක්ෂිතය දෙපලු කරමින් 2014 දී පමණ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස හම්බන්තොට සිට මත්තල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබූ තවත් විශාල භුමි ප්‍රමාණයක් ද අහිමි විය.

ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපල   ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙක්ටෙයාර 2000ක් පමණ ලබාගත් අතර මේ වන විට ඉන් හෙක්ටෙයාර 800ක් සංවර්ධනය කර තිබේ.  එමෙන්ම  ගැසට් පත්‍රය මගින් ගුවන්තොටුපොළ වෙනුවෙන් තවත් හෙක්ටයාර 866ක භූමියක් වෙන්කර තිබේ.

    එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා හෙක්ටයාර 1115ක් පවරාගත් අතර මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන් ය. නමුත් අවතැන්වූ අලි ඇතුන් 20කට අධික ප්‍රමාණයක් වරාය හෙළි නොකරන ප්‍රදේශයේ තවමත් ජීවත් වෙන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසා සිටි.

   ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරුවලින් අනාවරණ වේ ,

   මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බඳගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල, මිරිජ්ජවිල, සූරියවැව යන ප්‍රදේශයන්හි  වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම්වලට හා දේපොළ සඳහා  සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

වලව වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමර වික්‍රම මහතා ”දේශපාලඥයින් හම්බන්තොට සුරපුරයක් ලෙස අර්ථකථනය කරනු ලැබුවත් අද අපිට නිදහසේ ජීවත්වෙන්න තත්වයක් නැතිවෙලා තියෙනවා. මේ වනඅලි නිසා. මේකට ප්‍රධානතම හේතුව වනඅලි කළමනාකරණ රක්ෂිතය නාමිකව ගැසට් කළත් ඒ තුල වනඅලි රඳවා ගැනීමට බලධාරීන් වැඩ පිළිවෙලක් සකසා නොමැති වීමයි. ඒ නිසා දිනෙන් දින අපෙගේ ගොවිබිම් වනඅලින්ගෙන්  විනාශ වෙනවා”   

ඡායාරූපය. දේපල විනාශ වී ඇති අයුරු: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ඡායාරූපය. වගා විනාශ වී ඇති අයුරු: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මිට වසර 15 කට පමණ පෙර  හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මහවැලි අධිකාරියට අයත්ව තිබු හෙක්ටෙයාර තිස්දෙදහසකට ( 32000) අධික  භූමි ප්‍රමාණය  එම ප්‍රදේශ‌යන්  මීට වසර 15ක පමණ සිට මේ දක්වා  විටින් විට විවිධ  සංවර්ධන ව්‍යාපෘති සඳහා හෙක්ටෙයාරර පහළොස් දහසක් පමණ  (15000) ලබා දී ඇති බව හම්බන්තොට මයුරපුර මහවැලි අධිකාරියෙන් තොරතුරු  දැනගැනීමේ පනත මගින් ලබා ගත්  තොරතුරුවල සඳහන් වේ. මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබූ රක්ෂිත ප්‍රදේශ ද ලබා දී තිබීම මෙම සොයා බැලීමේ දී  අනාවරණය වූ කාරණාවකි.

” අපිට මේ වන අලි උවදුර තියෙන්නේ වසර ගණනාවක ඉඳලා. ගෙවී ගිය වසර 10ක පමණ කාලය තුල ගොවීන්ගේ ජිවිත ගණනාවක්  වනඅලි ප්‍රහාරවලින් මියගියා. ඒ අතර අලිත් මැරුණා. මගේ ගේ කීපවතාවක්ම අලි කඩලා දැම්මා. අලි කළමනාකරණ රක්ෂිතයක් කියල එකක් හදනවයි කිවුවට ඒකට වෙන්කරලා තිබුණු ඉඩම් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගත්තා. තවත් ටිකක් දවස ගානේ විවිධ  අය හෙළි කරලා මහා පරිමාණ වගා කරන්න පටන් ගත්තා,  ඒ නිසා  අලින්ට ඉන්න තැනක් නැතිවුණ නිසා අලි අපේ ගම්මානවලට එන එක වැඩි වුණා.” යැයි සූරියවැව මදුනාගල ප්‍රදේශයේ පාරම්පරික ගොවියෙකු වන සුමනානන්ද මහතා පවසා සිටි.

ගැසට් කළත් නීති හදල නෑ

අදාල අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශය 2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවත් එම ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට නිලධාරීන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමේ පසුබිමකදී ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ    2021.07.20 දිනැතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා යොමුකරන ලද  තොරතුරු ඉල්ලුම්  පත්‍රයට පිළිතුරුදෙමින් පාර්ලිමේන්තුව මගින්  2021 අගෝස්තු මස ලබාදුන් තොරතුරු මගින් ද සනාථ වූයේ අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර නොමැති බවයි.

ඡායාරූපය. තොරතුරු ඉල්ලීම බාරගත් බවට ලිපිය

එමෙන්ම 2021.07.19 දින තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට  ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පත්‍රයට 2021.08.10 දින ප්‍රතිචාර  දක්වමින් තොරතුරු නිලධාරී සහකාර දිස්ත්‍රික් ලේකම් කේ. චන්දිමා නිරෝෂනි මහත්මියගේ අත්සනින් යුතු ලිපියක් මගින් දන්වා සිටියේ හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  නොමැති බවයි.

   එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු සඳහා පිළිතුරු වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2021.10.14 දිනැතිව ලබාදුන් පිළිතුරු මගින් ද පෙන්වාදෙන්නේ හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා සකස්කරන ලද රෙගුලාසිවල නිත්‍යානුකුලභාවය පරික්ෂා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන බවයි. එමෙන්ම ගැසට් නිවේදනය හා එම රෙගුලාසි මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රජයේ ආයතන වෙත කටයුතු නියාමනය කිරීමට බලය ලැබෙන බවයි.

ඡායාරූපය. තොරතුරු නොමැති බවට ලිපිය

විවිධ ඉඩම් ජාවාරම්කරුවන්ගේ   ඉඩම් අල්ලාගැනීම හේතුවෙන් හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත සඳහා මහවැලි  අධිකාරිය යටතේ තිබූ විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2017දෙසැම්බර් 19 දින WL /16/RTI  යන ලිපි අංකය මගින් ලබාගත් තොරතුරු මගින් සනාථ වේ. ඒ අනුව 2017 වර්ෂය වනවිට  හම්බන්තොට  යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත සඳහා හෙක්ටෙයාර 25997.10ක් වෙන්කර තිබූ අතර ඒ සඳහා සිතියම් ද සකස් කර තිබුණි. එමෙන්ම 2019 නොවැම්බර් 20 දින වජි /06/01/02//769 යන ලිපි අංකය යටතේ  වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වූයේ එම බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 25726.55 දක්වා අඩුවී ඇති බවයි. ඒ අනුව වසර දෙකක් තුලදී වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබූ භූමි ප්‍රමාණයෙන් හෙක්ටෙයාර 270ක් අඩුවී තිබේ.

 එමෙන්ම අවසාන වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2021 පෙබරවාරි 22 දින වජි /1/2/769 II යටතේ ලබාගත් තොරතුරුවලට අනුව හෙක්ටෙයාර 25726.55 ප්‍රමාණයම වෙන්කර ඇති බවට සිතියම් සමඟ ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.

සිතියම . 2017 අලි කළමනාකරණ රක්ෂිතය වෙන්කර සකස් කළ  සිතියම

මෙවන්  පසුබිමක දී  හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන්  2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ  හෙක්‌ටයාර 23746.55කින් යුත් භූමි ප්‍රමාණයක් පමණ ය. ඒ අනුව හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබූ තවත් හෙක්‌ටයාර 1384ක් අහිමි වී තිබේ. ඒ අනුව වසර තුනකදී හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයෙන් අහිමිකර ඇති භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 1654කි. එසේ අහිමිකර ඇත්තේ මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම් බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

සිතියම. 2021 අලි කළමනාකරණ රක්ෂිතය වෙන්කර සකස් කළ  සිතියම
සිතියම. 2021 අලි කළමනාකරණ රක්ෂිතය : Google Earth

ගැසට් නොකළ ඉඩම් කොටස කාගේද?

  හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබූ භූමි ප්‍රමාණයෙන් ගැසට් නොකරන ලද හෙක්ටෙයාර 1384ක භූමිය පිහිටා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දර වැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටසේ වේ.  එම භූමි ප්‍රදේශය විවිධ පුද්ගලයින්, ගල් මෝල් කීපයක් ද පවත්වාගෙන යන ප්‍රදේශයක් වේ. මින් පැහැදිලි වන කාරණයක් වන්නේ අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී මෙම පිරිස් ගැන ලැදියාවකින් යුක්තව මෙම රක්ෂිත ප්‍රදේශය ගැසට් කර ඇති බවයි.

  මේ අතර ඉදිවූ  දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටස වශයෙන් තෝරාගනු ලබන්නේ වනඅලින් බොහෝ සෙයින් ජීවත් වූ ප්‍රදේශයකි. දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශවල ජිවත්වන වනඅලින් හට අධිවේගී මාර්ගයට පැමිණීමට නොහැකි ලෙස කිලෝ මීටර් 35ක පමණ දිගින් යුත්  දැඩි ආරක්ෂාකාරී අලි වැටක් ඉදිකර තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 215.99ක මුදලක් යොදවා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

  මේ ආකාරයෙන් විශාල මහජන මුදල් ප්‍රමාණයක් යොදවා අලි වැටක් ඉදිකරනු ලබන්නේ අධිවේගී මාර්ගයෙන් එපිට කොටස අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති පසුබිමක ය. මෙම ගැසට් පත්‍රයට අනුව අධිවේගී මාර්ගයේ සිට මිටර් 500කට පමණ දුරක් කිලෝ මිටර් 30ක් පමණ යනතුරු අඩු වැඩි වශයෙන් අලි කළමනකරණ රක්ෂිතයට අහිමි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී රුපියල් මිලියන ගණනක් වැයකර  තවත් අලි වැටක් ඉදි කිරීමට සිදු වේ. මේ ආකාරයෙන් රුපියල් මිලියන 350කට අධික ප්‍රමාණයක (රුපියල් කෝටි 3500ක් පමණ ) මහජන මුදල් නාස්තියක් ද සිදු වේ.   

ඡායාරූපය. අධිවේගී මාර්ගය දෙපස මේ වනවිට ඉදිකර තිබෙන අලි වැට: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ඡායාරූපය. අධිවේගී මාර්ගය දෙපස මේ වනවිට ඉදිකර තිබෙන අලි වැට: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

කෙසේ නමුත් ගැසට් කර වෙන්කරනු ලැබූ මෙම භූමි ප්‍රදේශය සම්බන්ධයෙන් තවමත් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී, ඔහු ද කියා සිටියේ අදාල ගැසට් එක තවමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර නොමැති බවයි.

   ”අලි කළමනාකරණ රක්ෂිතය පිළිබඳ  පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට මේ වනතෙක් දිනයක් ලබාදී නෑ.  අපිට පුළුවන්කම තියෙන්නේ අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට යවන එක. මේක පාර්ලිමේන්තුවේ සම්මතයට ඉදිරිපත්කරන්න කියල පක්ෂ නායක රැස්වීමකදී තමයි ඒ ඒ දිනවල මොනවද ගන්නේ කියල තීරණය කරන්නේ. ඒ වගේම regulation හදල නීතිපති දෙපාර්තමේන්තුවට යවල අනුමැතිය ගන්නත්  ඕන. පස්සේ ඒකත් ආපහු ගැසට් කරල පාර්ලිමේන්තුවේ  යවන්න ඕන  කැබිනට් එක හරහා ඒකට අනුමැතිය ගන්න.”

”නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මේකම ඕන නෑ. වනයට හෝ වනජීවීන්ට  හානියක් වෙනවා නම් ඒක වැළකීමට නිලධාරීන්ට හැකියාවක් තියෙනවා. ” බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

නීති ක්‍රියාත්මක කරන්න ගැසට් එක මදි ද?

  ගැසට් කරන ලද හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් නීති නොමැති බව පවසමින් පසුබෑම තුලින් එම ප්‍රදේශය දිනෙන් දින වන ඝාතකයින්ගේ ගොදුරක් බවට තවමත් පත්වෙමින් තිබේ.

  මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර වනජීවී නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වනජීවී නිලධාරීන්හට වනඅලි කළමනාකරණ රක්ෂිතය තුළ වනජීවින්හට සිදුවන හානිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකිවුවත් එහි ඇති ඉඩම්තුල සිදුවන නීතිවිරෝධී ක්‍රියා නතරකිරිම වෙනුවෙන් තවමත් බලය ලබාදී නොමැති බවයි. එමෙන්ම එම බලය ඇත්තේ එම ඉඩම් අයිති මහවැලියට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බව ද හෙතෙම කියා සිටියේ ය.

 මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහවැලි නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට තමාට අවසරයක් නොමැති බවයි.

 යම් භූමියක් අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ගැසට් කිරීමෙන් පසු තිබෙන නීතිමය පසුබිම සම්බන්ධයෙන්  නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවන් අදහසක්.

  ”යම්කිසි ප්‍රදේශයක් අභය භූමියක් ලෙස හෝ වනඅලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස හෝ අමාත්‍යවරයාගේ නියෝගයක් මගින් ප්‍රකාශයට පත්කරලා. ඒ ප්‍රකාශයට පත්කරන ලද නියෝගය  ගැසට් පත්‍රයක පළ වූ පසුව ඒක නීති ගතවෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ  අනුමැතිය ගන්නවා කියන කාරණය දෙවනුව වෙන දෙයක්. ඒ නිසා මේක ගැසට් කරපු දවසේ සිට ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට සලකල කටයුතු කරන්න ඕන. මොකද ගැසට් එකකින් එක ආරක්‍ෂිත ප්‍රදේශයක් බවට පත්කරලා තියෙනවා. යම්කිසි ප්‍රදේශයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සේ ඒ ප්‍රදේශය සම්බන්ධයෙන් වන නියෝගය පාර්ලිමේන්තුවට දන්වන තුරු ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකියි කියන එක සාවධ්‍ය පරිකල්පනයක්. එවැනි කාරණයක් අවශ්‍ය වන්නේ යම්කිසි අභයභූමියක හෝ රක්ෂිත ප්‍රදේශයක මායිම අඩු කරනවා නම් හෝ එම ප්‍රදේශයේ නිත්‍යානුකූල තත්වය අහෝසි කරනවා නම් විතරයි.”

 ”එමෙන්ම වනසත්ව වෘක්ෂලතා  ආඥා පනතේ දෙවැනි උප වගන්තියේ හතරවැනි හා පස්වැනි උපවගන්ති මගින් පෙන්වා දෙනවා අභය භූමියක් හෝ ජාතික රක්ෂිතයක් හෝ වනඅලි කළමනාකරණ රක්ෂිතයක් හෝ ප්‍රකාශයට පත්කළාට පස්සේ ඒක ගැසට් පත්‍රයේ පළවූ වෙලාවේ ඉදලා  ඒක නිත්‍යානුකූලයි. ඒ අනුව ඒක  ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස සලකා සියලු බලධාරීන් කටයුතු කළයුතුයි. කිසිවෙකුට ඒක නිත්‍යානුකූල බලප්‍රදේශයක් කියල කියන්න අලුතින් ඉඩක් තියල නෑ. ඒ වගේම යම්කිසි නිලධාරියෙක් තමන් විසින්  ක්‍රියාත්මක කළයුතු නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න නිදහසට කරුණු දක්වනවා නම් ඒ තැනැත්තාට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ වෙනත් නීති යටතේ නඩු පැවරීමට මේ රටේ පුරවැසියන්ට හැකියාව තිබේනවා” යැයි   නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ඉක්මණින් රෙගුලාසි සකස්වීමේ වැදගත්කම මෙන්ම මෙහි ඇති කාලීන අවශ්‍යතාව සම්බන්ධයෙන් අදහස් පලකළ   වනඅලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු  වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා,

 ”ඇත්තටම හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ මෙම ගැටලුවට දැනට වසර 10කටත් වැඩියි. මුලින්ම නාගරික සංවර්ධන අධිකාරිය මගින් තමයි මේක ඉදිරිපත් කළේ. මෙච්චර කලක් මේක හරියට කරගන්න බැරිනම් ඒක කණගාටුවට කාරණයක්. මෙහෙම  අලි-මිනිස් ගැටුම  විසඳන එක සහ අලි සංරක්ෂණය කියන එක විහිළුවක් වෙලා තියෙන්නේ. අලි කළමනාකරණ රක්ෂිතය වශයෙන් අලුත් දෙයක් හඳුන්වලා දෙන්න යොමු වුණේ මේ සංරක්ෂණය හා සංවර්ධනය දෙකම අතිනත යන්න. ඒක නිසා අත්‍යාවශ්‍යයි කියල හැගුන හින්දා සංවර්ධනය සඳහා  කොටස් අත්හැරලා තියෙන්නේ. නමුත් මේකෙනුත් පොඩ්ඩ,පොඩ්ඩ අඩු කරන්න ගියොත් මේකෙන් දෙයක් ඉතුරු වෙන්නේ නෑ – මේ තුලින් සංචාරක කර්මාන්තය සඳහා ලොකු රුකුලක් වෙනවා ඒ වගේම හේන් ගොවිතැන ව්‍යාප්ත කරන්න කළමනාකරණයක් සහිතව. ඒකෙන් අලි මිනිස් ගැටුමත් බොහෝදුරට විසඳෙනවා හේන් ගොවිතැනටත් ඉඩක් ලැබෙනවා ”

  සිදුවන මෙම පරිසර හානිය අවම කිරීමට නම් පාලකයින්, නිලධාරීන් කළ යුත්තේ ජනතාව මුලා නොකොට  හැකි ඉක්මනින් එයට අදාල නීති රෙගුලාසි සකස්කර එය රැක ගැනීමට නිසි අයුරින් ඉක්මනින් ක්‍රියාත්මක වීමයි.

2021 නොවැම්බර් 10 දින “අද” පුවත්පතේ පළ කරන ලදී.

This environmental investigation story was produced as a part of Stories from the Margins initiative supported by the  Earth Journalism Network (EJN) and Internews.